පොලිස් නිලධාරීන්ට ජූනි 12 වෙනි සිකුරාදා උදෑසන නිදහස් චතුරස්‍රය අසල පිහිටි උද්‍යානය අසල මුර සංචාරයේ යෙදී සිටියදී දැකගත හැකි වූයේ කම්පනය කරවන  දසුනක්ය. එය මිනිස් සිරුරක්ය. එහි නාසයෙන් රුධිරය ගලා යයි. කුඩා පිස්තෝලයක් සහ එක් උණ්ඩයක් දමන ආවරණයක් සිරුර අසළ
තිබුණි.
වාර්තා වූ ආකාරයට මියගිය අයගේ සාක්කුවේ තිබී හමු වූ ජාතික හැඳුනුම්පත මගින් මියගොස් ඇත්තේ රජීව ප්‍රකාශ් ජයවීර ලෙස හඳුනාගන්නා ලද අතර ඔහු 64වෙනි වියේ පසු වූ විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ ගුවන් ගමනාගමන විධායක නිලධාරියෙක් සහ ස්වාධීන තීරු ලේඛකයෙක්ෙ බව පසුව හෙළි විය.
පසුව ජයවීරගේ නිවසේ සේවිකාවගෙන් ලබාගත් ප්‍රකාශයට අනුව ජයවීර මීට පෙරද දෙවරක්ම සිය දිවි හානි කරගැනීමට උත්සාහ කර ඇති බව වාර්තාවී තිබේ. අදාළ සිදු වීමට පෙර දින ඔහු තම කාරයේ යතුරු සේවිකාවට ලබා දී නිවසින් පිට වී ඇත්තේ ඇවිදගෙනයි.

එදිනම රාත්‍රී 8:45ට පමණ ‍රජීව ජයවීරගේ සොහොයුරු සංජීව ජයවර්ධනට රජීවගෙන් වට්සැප් පණිවිඩයක් ලැබී ඇත. සූ‍ට් කේස් එකක සංජීව සඳහා ඔහු ලිපියක් තබා ඇති බව එම පණිවිඩයේ රජීව සඳහන් කර තිබුණි.
මේ පිළිබඳව කනස්සල්ලට පත් සංජීව ඔහුගේ දුරකථනයට කිහිප වතාවක්ම අමතා තිබෙන නමුත් ඔහුට පිළිතුරු නොලද නිසා නැති වූ පුද්ගලයෙකුට අදාළ පැමිණිල්ලක් ගොනු කිරීමට බම්බලපිටිය පොලිස් ස්ථානය වෙතටද ගමන් කර තිබේ. රජීව ගොස් තිබෙන්නේ කොහෙද යන්න ඔහුටද සිතාගත නොහැකි විය.
මෙම සිදුවීමේදී ප්‍රථම වගඋත්තරකරු විසින් ජයවීරගේ තීරණයට බලපෑවා විය හැකි හේතු පිළිබඳව හෙළි කර තිබෙන බවට “සිලෝන් ටුඩේ” වාර්තා කරයි.
ජයවීර තම තීරණය පිළිබඳව දන්වමින් සංජීවට ඉතුරු කළ අවසන් වදන්වල සඳහන් වන්නේ ජීවිතයේ මුහුණ දීමට සිදු වී තිබෙන ප්‍රශ්න ගැටලු සමඟ කටයුතු කිරීමේ ඔහුගේ ක්‍රමය වන්නේ ජීවිතය අතහැර යෑම බවය. ජීවිතය හැර දමා යෑමට තිබෙන හේතු ලෙස ජයවීර ඉදිරිපත් කර තිබෙන කරුණු ලැයිස්තුව සංජීව දැන් කියෙවුවද එම හේතු දැනගැනීම මගින් ජයවීරට උපකාර කිරීමට ඔහුට දැන් නොහැකි අතර එය කියවීමෙන් ඔහු දැනගන්නේ තමන් ජයවීරට උපකාර කිරීමට ප්‍රමාද වැඩි බව පමණය. එය සංජීවට ඉතා අමිහිරි අද්දැකීමක් වූවා නොඅනුමානය.
තම මරණින් පසුව තමන්ගේ පවුලේ සාමාජිකයන්ට මුහුණ දීමට සිදු වන දේවල් පිළිබඳව එම ලිපියේ රජීව ජයවීර නැවත නැවත සමාව ඉල්ලා තිබුණි. සිය දිවි හානි කරගැනීමට පෙර තමන් වෙනුවෙන් අවමංගල්‍ය පැකේජයක් මිල දී ගැනීමට උත්සාහ කළද ඒවා ලබාගත හැක්කේ අවුරුදු 70 වැඩි පුද්ගලයන්ට නිසා එය අසාර්ථක වූ අයුරුද ඔහු විස්තර කර තිබී ඇත.

කොඳු ඇට පෙළේ ආබාධයක් හේතුවෙන් තමා පීඩා විඳි ආකාරය ඔහු එම ලිපියෙහි සඳහන් කර තිබුණි. එමෙන්ම සැත්කමින් පසුව නැවත සුවය ලැබීමේ ක්‍රියාවලිය පිළිබඳව ඔහු බියෙන් පසු වූ බවද එහි සඳහන් විය. මෙවැනි ගැටලු මධ්‍යයේ දිවි ගෙවීමට තමාට අවශ්‍ය නැති බව සඳහන් කළ ඔහු තම දැක්ම වන්නේ සිය දිවි හානි කරගැනීම බව පවසා තිබේ.
එමෙන්ම රජීව ගත් මෙම තීරණය කෙරෙහි බලපෑ යම් රහසිගත පෞද්ගලික හේතු තිබෙන බවද ඔහු ලිපියේ සඳහන් කර ඇති අතර එම කාරණා අනුව ඔහු ජීවිතය අවසන් කිරීමට හේතුව ඔහුගේ සහෝදරියන් තුන්දෙනා සහ සහෝදරයා ඇතුළු පවුලේ සාමාජියකන් තේරුම්ගන්නා බවට තමන්ට විශ්වාස බව ඔහු කියා තිබිණ.
එමෙන්ම තමන් ජීවිතයෙන් සමුගන්නට සිතා සිටියේ එදින නොව,  මාර්තු 27වෙනි දින බව ඔහු කියා තිබුණි. ඊට දින කිහිපයකට පෙර තම පවුලේ සාමාජිකයන් සමඟ රාත්‍රී ආහාර වේලක් ගැනීමටද ඔහු සැලසුම් කර තිබූ බව සඳහන්ය.
නමුත් ඔහු ලිපියේ සඳහන් කර ඇති පරිදි ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඔහුගේ එම සැලැස්ම ක්‍රියාවට නැඟීමට නොහැකි වූ බව කියැවේ.

පොලීසිය පැවසුවේ ජයවීර තම නිවසේ සේවිකාවන්ට ඉතා හොඳින් සලකා තිබෙන බවය. එමෙන්ම ඔහුගේ අවසන් ලිපිය මගින් ඔහුගේ එක් සේවිකාවකගේ සේවයට අගය ප්‍රකාශ කිරීමක් ලෙස ඇගේ ගිණුමට රුපියල් මිලියනයක මුදලක් බැර කිරීමට සැලසුම් යොදා තිබූ බව සඳහන්ය.

එමෙන්ම ජනපති Covid-19 අරමුදලට ඔහු රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක් සිදු කර තිබෙන බව හා එම ගනුදෙනුව පිළිබඳ තොරතුරුද ඔහුගේ ලිපියේ අඩංගු වී තිබිණ.
එමෙන්ම ඔහු භාවිතා කළ ගිනි අවිය රුපියල් 151,500ක් දී උණ්ඩ 6ක් සමඟ මිල දී ගත් බවද ඔහු පවසා තිබිණ. සිදුවීමට අදාළ දින වෙඩි තබාගැනීමට ඔහු භාවිත කර තිබෙන උණ්ඩයට අමතරව පොලීසිය විසින් සොයාගනු ලැබුවේ උණ්ඩ 4ක් පමණය. ලිපියේ සඳහන් තොරතුරු සහ විමර්ෂණවලට අනුව අනෙක් උණ්ඩය යොදාගෙන තිබෙන්නේ ගිනි අවිය අත්හදා බැලීමටය.
“සති දෙකකට පෙර අපට ඉහළ මහලෙන් විශාල ශබ්දයක් ඇසුණා. නමුත් සාමාන්‍යයෙන් ඔහු ඉහළ මහල තුළ සිටින විට අපට එහි ගමන් කිරීමට අවසර නැහැ. නමුත් පසු දින ඔහු පහත මහලට පැමිණි විට, ස්ප්‍රිං එකක් හමු වුවොත් එය ඉවත නොදමා ප්‍රවේසමෙන් තබන ලෙස ඔහු අපට පැවසුවා” කියා ඔහුගේ නිවසේ එක් සේවිකාවක් පොලීසිය වෙත අදහස් දක්වා තිබේ.
මෙම ප්‍රකාශයෙන් පසුව පොලීසිය ජයවර්ධනගේ නිදන කාමරය පරීක්ෂා කර තිබෙන අතර එහි බිත්තියක උණ්ඩයකින් සෑදුණ සිදුරක් තිබුණි. ගිනි අවිය අත්හදා බැලීම සඳහා ජයවීර බිත්තිය ‍යොදාගෙන තිබෙන බවට ඉන් තහවුරු විය. ඔහු විසින් ලිපියේ සඳහන් කර තිබෙන උණ්ඩ 6න් කුමක් සිදු වූවාදැයි නොදැන සිටි උණ්ඩය යොදාගෙන තිබෙන්නේ මෙහිදී බවට පොලීසිය අනුමාන කරයි. ගිනි අවි භාවිතා කිරීමට හුරු නොමැති නිසා ඔහු අතින් පිස්තෝලයේ ස්ප්‍රිං එක ගිලිහී තිබේ.

ජයවීර රාත්‍රියේ ගමන් කළ අනෙකුත් ස්ථාන සහ ඔහු දිවි හානි කරගත් ස්ථානයට පැමිණි ආකාරයද පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති බවද සඳහන්ය. පෙර දිනයේදී ජයවීර තම කාරයේ යතුරුද  සේවිකාවට ලබා දී බම්බලපිටියේ පිහිටි ඔහුගේ නිවසේ සිට තුම්මුල්ල හන්දියට ගමන් කර තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ. CCTV දර්ශනවල පෙනෙන්නට ඇත්තේ ඔහු තුම්මුල්ල හන්දිය දක්වා ගමන් කරන අයුරු පමණය.
ජයවීර තම සොහොයුරුට ඉතිරි කළ ලිපිය පරිඝනකය ඇසුරින් අක්ෂර සකසා මුද්‍රණය කර තිබූ අතර ඔහු අතින් අත්සන් කර ඒ අසල “අයියා” කියා ලියා තිබුණි. මෙය ඇත්තටම ඔහුගේ අත්අකුරුද කියා තහවුරු කරගැනීමට පොලීසිය කටයුතු කරන බව සඳහන්ය.

එමෙන්ම ජයවීර භාවිතා කළ ගිනි අවිය ඔහු ලබාගත්තේ කොහොමද සහ ඔහුට එය අලෙවි කළේ කවුද යන්න පිළිබඳවද පොලීසිය විමර්ශන සිදු කරන බවට සඳහන්ය.

තමා ගත් තීරණයට කිසිම දේශපාලන අරුතක් ලබා නොදෙන බවටද ජයවීර අවධාරණය කර තිබී ඇත.
ජයවීර භාවිතා කර තිබෙන කුඩා පිස්තෝලයෙහි ඔහුගේ ඇඟිලි සලකුණු තිබී ඇති අතර අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ මරණය ගිනි අවියකින් පිට වූවක් මගින් හිසට සිදු වූ අනතුරක් හේතුවෙන් සිදු වූවක් බවය.

ඔහු මෙම තීරණය ගෙන තිබෙන්නේ පියවි සිහියෙන් බවට හා ඉන්පසුව උද්ගත විය හැකි ගැටලු පිළිබඳ අවබෝධයෙන් සිටි බව ඔහුගේ ලිපියේ ලියා තිබූ දෙයකින් පැහැදිලි වන බව සඳහන්ය. “මේ හින්දා ඇති වෙන අවුල ගැන මට කනගාටුයි. නමුත් මට මේ හැර වෙන විකල්පයක් නැහැ. මම තවත් ක්‍රම කිහිපයක් අත්හදා බැලුවා. ඒත් ඒවා අසාර්ථක වුවොත් අනතුර භාරගත නොහැකියි.”

 (“සිලෝන් ටුඩේ” පුවත්පතට ෆාධිලා තසීම් සහ සමන් ප්‍රියංකර නම්මුනිගේ කළ වාර්තාව ඇසුරිනි)
එස්. දහනායක