සුගිය කාලයේ මාධ්‍ය තුළ විශාල කථාබක් ඇති කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී ටයරයක් හිස මතට පෙරළීමේ අවාසනාවන්ත සිදුවීමක් නිසා අනතුරකට ලක්වී හිසට බරපතල තුවාල ලබා මාස 03 කට
අධික කාලයක් රෝහල් ගතව සිටි පසිදු හිරුෂාන් ශිෂ්‍යයා සම්පුර්ණ සුවය ලබා කොළඹ ජාතික රෝහලෙන් අද පිටත්ව ගොස්ව තිබේ.
පසුගිය කාලයේ ඔහු අසාධ්‍යව සිටි අතර ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ තත්වය
සුව අතට ගෙන ඒමට
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලයේ දැඩි උත්සාහයක නිරත විය.
එම කැපවීම මධ්‍යයේ ප්‍රතිකාර ලැබූ පසිදු හිරුෂාන් සුවය ලබා අද දින රෝහලෙන් පිටව ගියේ දින 96 කට ආසන්න කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසුවය.
ජයවර්ධනපුර සරසවියේ පැවති පිළිගැනීමේ සාදයක් අවසානයේ පසිඳු හා මිතුරා නවාතැනට යන්න සූදානම් වෙද්දී එයට විරුද්ධවූ ජ්‍යෙෂ්ඨයින්ට පසිඳු එකඟනොවූ නිසා ඉහළ ස්ථානයක සිට ඔහුට පහරදීම පිණිස විශාල ප්‍රමාණයේ ජේසීබී ටයරයක් තල්ලු කර එවන්නට එකී ජ්‍යෙෂ්ඨයින් පිරිසක් කටයුතු කළ අතර මෙයින් පසිඳුගේ හිසට බරපතල අනතුරක් සිදු විය.
මෙම සිද්ධිය හිතාමතා කළ එකක් නොවන බව කියන්නට අදාළ සරසවියේ දේශපාලනයට සම්බන්ධ ශිෂ්‍ය නායකයෙකු මාධ්‍ය ඉදිරියට පැමිණ අදහස් දැක්වූ අතර එය සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්විය.
ජයවර්ධනපුර සරසවියේ උපකුලපතිවරයා කියා සිටියේ එය නවක වදයක් නොවන බවයි.
අවස්ථා කිහිපයකදීම පසිඳු ගැන වාර්තා මාධ්‍ය තුළ පළවූ අතර ඔහු යම් යම් ආබාධවලට ඉදිරියේදී ලක්විය හැකි බවට එම පුවත්වලින් කියැවී තිබුණි.
අද වාර්තාවූයේ ඔහු පූර්ණ සුවය ලබා රෝහලෙන් නික්මෙන්නට හැකිවූ ආකාරයයි.