ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලබා මාස ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිවසට ගොස් සිටින පසිඳු හිරුෂාන් සිසුවාගේ තත්ත්වය සොයාබැලීම සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් පෙරේදා (16දා) එම සිසුවාගේ නිවසට ගියහ.




පසිඳු හිරුෂාන් සිසුවාගේ ඉඳිරි අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කර ගැනීමටත්, ඔහුගේ සෞඛ්‍ය තත්වය යථා තත්වයට පත් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති සියලු ප්‍රතිකාර සඳහාත් උපකාර කිරීමට විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහයෝගය ලබා බව අමාත්‍ය ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

පසිඳු හිරුෂාන් සිසුවාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ සෑම දරුවකුටම බියෙන් හා සැකයෙන් තොරව අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට හා හිංසනයට, අනතුරු වලට ලක්වීමෙන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි.

විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් නවක වදය ඉවත් කිරීම සඳහා ගත හැකි සෑම  ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් නවක වදය නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

 මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නවක වදය හේතුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඉතිහාසයේ පළමුවරට විශ්‍රාම ලත් විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කර ඇති බවයි.

අදාළ කොමිෂන් සභාව විසින් ඉදිරි මාස 03 ඇතුළත වාර්තාවක්  ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙහි වාර්තාව  ලැබීමෙන් පසු - ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.ජනාධිපතිවරයාගේද ප්‍රතිපත්තිය වන්නේ ද  විශ්ව විද්‍යාල පද්ධතියෙන් නවක වදය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම බව කී ඇමතිවරයා එයට අදාළ නීතිමය ප්‍රතිපාදන විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් වෙත පවරා දීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ  ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරුද අමාත්‍යවරයා සමග පසිඳු හිරුෂාන් සිසුවාගේ වත්මන් තත්ත්වය සොයාබැලීමට ගොස් සිටියහ.

(ඩයනා උදයංගනී)