රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට කමිටුවක් මගින් නිර්දේශ කර තිබේ. කෙසේ වෙතත් තවම මෙම වේලාවන්
ගැන ස්ථිර නිගමනය ගෙන නැත.
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා මාර්ග තදබදය වළක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය අනුව ජනාධිපති උපදෙස් පරිදි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඒ් සම්බන්ධව නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබීය.


එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා සකස් කළ වාර්තාව අද දින (30) පෙරවරුවේ ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනවිරත්න විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත බාර දෙනු ලැබු අතර එහි සඳහන් වූයේ  රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පුද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කරන ලෙසය.
මෙම නව නිර්දේශ අනුව පුද්ගලික අංශයේ සේවාවන් නිමවී පස්වරු 06.45 ට සේවකයින් නිවෙස් වලට යාමේදී රාත්‍රී කාලය උදාවීම හා දුර පළාත් අය අපහසුතාවට ලක්වීම සැලකිල්ලට ගෙන නොමැති බවද නිරීක්ෂණය වේ.
මෙම නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන අතර එහිදී සම්මත වුවොත් ඉදිරියේදී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර  අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබේ.