සුගිය කාලයේ දිවයිනටම බලපාන ලෙස දැඩි ඇඳිරි නීති තත්වයක් පැවති වකවානුවේ තම නිවසින් පිට සිදුවන්නේ කුමක්ද යන්න ජනතාවට වසං වූ සමයක් විය. මේ කාලයේ ගල්කිස්ස ආශ්‍රිත වෙරළ තීරයේ කිසිවෙකුට නොදැනෙන්න යම් කටයුත්තක් සිදුවිය. ඒ මිලියන ගණනක් වියදම් කර ඩෙන්මාර්ක සමාගමක් මැදිහත්වී
වෙනත් තැනකින් වැලියොදා මුහුදු වෙරළ දීර්ඝ කිරීමයි. මෙම කටයුත්ත ගැන ජනතාව දැනුවත් වූයේ සියල්ල අවසන්වූ පසුව දෙරණ නාලිකාවෙන් ගෙන ආ වීඩියෝවක් දැකීමෙනි.

වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව එම වීඩියෝවේදී පැහැදිලි කළේ මෙම කටයුත්ත කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු ඇරඹූ ව්‍යාපෘතියක් බවත් එහි නීතිමය ගැටලුවක් හෝ වසං කිරීමේ උවමනාවක් නොතිබූ බවකි.
කෙසේ වෙතත් මෑත කාලීනව එසේ ගොඩ කළ ස්ථාන යළි ඛාදනය වී ඇති අයුරු ගල්කිස්ස අවට නිරීක්ෂණය කරන්නන්ට පෙනී යයි. වෙරළ පෙර පැවති සීමාව දක්වා පැමිණ ඇති අයුරුද දර්ශනයව වේ.

ව්‍යාපෘතිය අසාර්ථකවී ඇති බවත් රුපියල් මිලියන 890 ක් මුහුදට සෝදා දමා ඇතැයිද සමාජ මාධ්‍ය වාර්තා පළව තිබේ.

දැන් මේ ගැන වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසන්නේ වෙනම කතාවකි.
ගල්කිස්ස මුහුදු වෙරළට පොම්ප කරන ලද වැලි ඛාදනයට ලක්විම ව්‍යාපෘතියේම කොටසක් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසා තිබේ.
මෙම ඛාදනය වු වැලි ගල්කිස්සෙන් උතුරු දෙසට තැන්පත් වී මීටර් 10-15 අතර පුලුල් වෙරළ තීරයක් නිර්මාණය වන බවත් එය හිතාමතා සිද්ධ කරවූ දෙයක් බවත් ඔහු පැහැදිලි කරයි.

ගල්කිස්ස මුහුදු වෙරළට පසුගිය අප්‍රේල් මස පොම්ප කරන ලද වැලි මේ වන විට මුහුදු ඛාදනයට ලක්ව තිබීම ගැටලුවක් කර නොගත යුතු යයි ඔහු පෙන්වා දෙයි.
මුහුදු ඛාදනය නිසා කොළඹ-මාතර දුම්රිය මාර්ගයට හානි විම වැලැක්විමත් මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වූ බවද ඔහු පවසා ඇත.

 මෙම ව්‍යාපෘතිය සදහා පමණක් රුපියල් මිලියන 890 ක් වියදම් කල බවට වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බවත් එම මුදල වැයවන්නේ රත්මලාන සිට කළුතර දක්වා වෙරළ ප්‍රතිසංස්කරණය කිරීමේ සම්පුර්ණ ව්‍යාපෘතියට බවත් මෙම කොටස සදහා වැයවී ඇත්තේ මිලියන 120ක් බවත් අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසා තිබේ.