දෙල්ගොඩ උඩුපිල බෑබඩ ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් පෙරේදා (28) පස්වරුවේ වැටලු මීගහවත්ත පොලිසියේ නිලධාරීහු ව්‍යාජ මුදල් නෝට්ටු, පරිගණක උපකරණ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සමත් වුහ.


වෑබඩ ප්‍රදේශයේ නිවෙසක ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරු පරිගණක සහ ජංගම දුරකතන අලුත්වැඩියා කරන්නකු බවත් ඔහු වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක අවිවාහකයකු වන ඔහු තදින්ම හෙරොයින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවකු බවත් පොලිසිය කියයි .

 අත්අඩංගුවට පත් අනෙක් සැකකරු කඩවත ගෝනහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 විවාහක පුද්ගලයෙකු වන අතර ප්‍රධාන සැකකරු ඔහු ලවා මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ජනතාව අතර මාරු කර ගැනීම සඳහා යොඳා ගෙන ඇති බවට තොරතුරු ලැබිණයි පොලිසිය කියයි. විශේෂයෙන්ම මෙම සැකකරු රාත්‍රි කාලවලදී බුරු පොළවලට ගොස් මෙම ව්‍යාජ මුදල් නෝට්ටු හුවමාරු කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

දෙල්ගොඩ ගොළුම්මහර ප්‍රදේශයේ බුරුපිටියක බුරු ගසා ජය ගත් පුද්ගලයකු මීට මාස කිහිපයකට පෙර දෙල්ගොඩ නගරයේ වාණිජ බැංකුවක තැත්පත් කිරීමට රැගෙන ආ මුදල් නෝට්ටු අතර රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තිබී හමු වීමෙන් පසු එම බැංකුවේ නිලධාරිනියක කළ දැනුම්දීම මත එම පුද්ගලයා මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 පසුව මේ පිළිබඳව පොලිසිය විසින් දිර්ඝ වශයෙන් කළ විමර්ශනවලට අනුව වෑබඩ ප්‍රදේශයේ නිවෙසක ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ මුදල් නෝට්ටු ඡාවාරම හෙළිදරව් වී ඇත.මෙහීදී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 11ක් පරිගණකයක් ප්‍රින්ටරයක් ඇතුළු උපාංග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 සැකකරුවෝ හොර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධානෙ පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්.ඒ. විමලරත්න, පොලිස් සැරයන් (6015) අබේසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (88789) රාජපක්ෂ, (35434) සුමේද බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින් වන (8234) කුමාර, (69425) මහේෂ්, පොලිස් රියැදුරු (80914) සාරංග යන නිලධාරිහු මෙම වැටලීමට එක්වූහ.

(දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්ති)