මිනුවන්ගොඩ දී හෙරොයින් සමග පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයට පසුගිය කාලයේ මත්කුඩු කිලෝ 90 ට අධික ප්‍රමාණයක් ගෙනවිත් ජාවාරම් කළ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු හෙළිවී ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි.
 මෙම පුද්ගලයාගේ ගිණුමට මත්කුඩු අලෙවියෙන් ලැබෙන මුදල්
මසකට රුපියල් ලක්ෂ 400- 500 ක  අතර ප්‍රමාණයක් බැරවන බවත් එවා වෙන වෙන ගිණුම්වලට හුවමාරු වී ඇති බවටත් පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
 මොහු මත්කුඩු ජාවාරමෙන් උපයාගත් බවට කියන මුදල්, වාහන හයක්, ඉඩම්, නිවාස ඇතුළු කෝටි ගණනක දේපළ මුදල් විශුද්ධිකරණ පනත  යටතේ තහනම් කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම ගිණුම දැනට අත්හිටුවා ඇති බව පොලිස්  ආරංචි මාර්ග කියා සිටි.
 මීගමුව ප්‍රදේශයේ පදිංචි දැනට ඩුබායි රටට පැනගොස් සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයා වන මෙම සැකකරු මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි. සැකකරුගේ බිරිඳ හා දරුවන් දැනට රටින් පලාගොස් සැඟව සිටින බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

සැකකරු ඉකුත් 12 වැනිදා මෝටර් රථයකින් යමින් සිටියදී මිනුවන්ගොඩ පොලිසිය විසින් සැකපිට අල්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය ඔහු පරික්ෂණය කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 5 ක ප්‍රමාණයක් සහ ජීව පතුරම් 5 ක් ළග තිබී  ඇත.
ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේ දී එහි ඊසි කෑෂ් ක්‍රමයට රුපියල් ලක්ෂ ගණනින් මුදල් බැර කළ එස්. එම්. එස්. පණිවුඩ තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට ඇති වූ සැකයක් මත සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගත් බවද  පොලිසිය පවසයි.

 මෙම සැකකරු මත්කුඩු පැකට්කරන අයුරු දැවෙන වීඩියෝ පටද ඔහුගේ ජංගම දුරකතනයේ තිබී පොලිසිය සොයාගෙන ඇති බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
ධනවත් ව්‍යාපාරිකයකු වශයෙන් පෙනී සිටිමින් මෙම සැකකරු මහාපරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
හෙරොයින් සමග සැකකරු ප්‍රථම වතාවට අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගියදා (12 දා) බවද පොලිසිය පවසයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී මිනුවන්ගොඩ බොරලුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මිතුරකුගේ නිවසක සඟවා තිබූ රිපීටර් වර්ගයේ ගිනි අවියක් ද පොලිසිය සොයාගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව මීගමුව කුරණ ප්‍රදේශයේදී ඔහුගේ ගෝලයන් දෙදෙනකු හෙරොයින් කිලෝ 6 ක් සමග පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

 මොහු ජාත්‍යන්තර ජාවාරම්කරුවන් සමග  සම්බන්ධකම් පවත්වා මෙරටට මත්කුඩු ගෙන්වා ඇති ද යන්න සොයා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව රාජ්‍ය බුද්ධි අංශය  මගින් ද පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.  මොහුගේ ජාවාරම්වලට හවුල් අට දෙනෙකුගේ පමණ තොරතුරු පොලිසිය විසින් හෙළිකරගනු ලැබ ඇති අතර ඔවුන් සැගවී සිටින බවද පොලිසිය කියයි.

මොවුන්ට විදේශ ගත වීම තහනම් කර ඇති බවද සැකකරුගේ ජංගම දුරකතනයට ඊසි කෑෂ් මගින් වැඩි වශයෙන් මුදල් බැරකර ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දුරකතන සන්නිවේදන මධ්‍යස්ථානයක් හරහා බවද එම සන්නිවේදන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාව දැනට  ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය සඳහන්  කරයි.

 බස්නාහීර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ, ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් මත, සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහන් මහේෂ් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පරික්ෂණ පවත්වති.

(ඉන්දිකා  රාමනායක)