ගුවන්විදුලි ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් දෙදෙනෙකුගේ අභාවයන් සිදුව තිබේ. එක් අයෙකු වන්නේ නඩරාජා ෂිවම්ය. අනෙක් තැනැත්තා මර්වින් සේනාරත්නයි.
ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන්  සමීපවු නිවේදක නඩරාජා ෂිවම් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදි
අභාවප්‍රාප්ත වී තිබෙයි.මියයන විට 74 වන වියේ පසුවූ ඔහු වඩාත් ප්‍රකට වූයේ රූපවාහිනියේ ආයුබෝවන් ඇතුළු වැඩසටහන්වල ස්වර්ණමය යුගයේදී දායක වීමෙනි. ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගනයටද එක්වූවෙකුවූ ඔහු ආර්කර්ෂා හා සෙල්වම් චිත්‍රපටවලටද දායක වූයේය.

පසුගිය කාලයේ ආසියානු මාධ්‍ය ජාලයේ සූරියන් එෆ්එම්හි උපදේශකයෙකු ලෙසද කටයුතු කළේය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද (25) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු ලෙස ඉහළ නමක් දිනූ ලේඛකයෙකු හා ගීත රචකයෙකුවූ මර්වින් සේනාරත්න මහතාද අභාවප්‍රාප්ත විය. මියයන විට 92 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා සුගන්ධිකා,වීදිය බණ්ඩාර, දොළේලන්ද ආදී ජනප්‍රිය ගුවන්විදුලි නාට්‍ය රචනා කළේය.

ඔහු රචනා කළ ගීත අතර නොකියාම එදා ඇසළ මහේ, මහ රෑ යාමේ මේ ඇල්හේනේ, අක්කෙ ටිකක් ඉන්නකෝ,පෙම් හදවත පාරවා ආදිය ජනප්‍රිය විය.
වෙසක් තොරණ කතා නිර්මාණයේදී නැතිවම බැරි  නිර්මාණ ශීල්පියෙකුවූ මර්වින් මහතා වසරකට වැඩිම තොරණ කතා ලියා වාර්තා තබා ඇති අයෙකි.ඔහු ලියූ තොරණ කතා ගණන 1000 කට ආසන්නය.
භාෂා පරිවර්තකයෙකු ලෙසද පුවත්පත් කතුවරයෙකු ලෙසද ඔහු සේවය කර ඇත.
අවසන් කටයුතු අද (25) කොට්ටාවේදී සිදු කෙරේ.