නිවෙසේ වැසිකිළි වළේ දුගඳ වැළැක්වීමට කාබයිඩ් දැමීමෙන් පසු ඇති වී පිපිරීමකින් 14 හැවිරිදි පාසල් සිසුවිය පෙරේදා (30 වැනිදා) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගහවත්ත පොලිසිය කියයි.
සිසුවියගේ පියා වැසිකිළි වළට කාබයිඩ් දැමීමෙන් පසු ඇති වූ පිපිරීමෙන් ඒ ආසන්නයේම මිදුල අතුගාමින් සිටි ඇගේ මවගේ දෙපා කපා ඉවත් කිරිමට සිදුවී ඇතැයි ද මීගහවත්ත පොලිසිය කියයි.



මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙල්ගොඩ උඩුපිල, ඉසිගිලිකන්ද ප්‍රදේශයේ හොරණගේ තක්ෂිලා දිනූෂි නැමැති 14 හැවිරිදි පාසල් සිදුවියකි. ඇය වැලිවේරිය ඇබරළුව මිහිඳු කනිෂ්ඨ විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.

 අනතුරින් දෙපා අහිමි වූ ඇගේ මව දෙල්ගොඩ නගරයේ ලොතරැයි අලෙවි කළ කාන්තාවක බව පොලීසිය සඳහන් කරයි. නිවෙස පිටුපස ඇති වැසිකිළි වළ මීයන් හෑරීම නිසා දින කිහිපයක සිට දුඟද හමමින් තිබූ බවත් එම දුගද නැති කිරීමට කාබයිඩ් කිලෝ එකක් වැසිකිළි වළේ අත්තිවාරමේ ගලක් ඉවත්කර වළට දමා එම සිඳුර වසා දැමූ බවත් ඊට පැය භාගයකට පමණ පසු විශාල පිපිරුම් හඩක් නගමින් වැසිකිළිවල පුපුරා ගිය බවත් මියගිය දැරියගේ පියා පොලිසියට පවසා ඇත.

පිපිරුම සිදුවන අවස්ථාවේ මියගිය පාසල් සිසුවිය වැසිකිළි වළේ කොන්ක්‍රීට් ලෑල්ල මත සිටගෙන සිටි බවත් පිපිරීමෙන් පසුව කොන්ක්‍රීට් ලෑල්ලේ සුන්බුන් සමග දැරීය වැසිකිළි වළ තුළ සිටි බවත් පියා වැඩිදුරටත් පොලිසියට පවසා ඇත.  මෙම පිපිරීමෙන් නිවසේ පිටුපස වහලයේ කොටසක් නිවෙස තුළ කඩා වැටි ඇත. පිපිරීමෙන් පැය කාලකට පමණ පසු ප්‍රදේශවාසීන් විශාල පරිශ්‍රමයක් දරා සුන්බුන් අතරින් දැරිය වළෙන් ගොඩට ගෙන ගම්පහ මහ රෝහලට ඇතුළත් කරන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මිගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එල්. ආර්. විමලරත්න, පොලිස් සැරයන්වරු වන (6015) අබේසිංහ, (39389) පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (88789) රාජපක්ෂ යන නිලධාරීහු වැඩිපුර පරීක්ෂණ මෙහෙයවති.

(දෙල්ගොඩ සුදත් පුබුදු)