බදු පදනම මත ලබා දුන් රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් අනුරාධපුර මහවීදියේ පිහිටි ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකසා එම ව්‍යාජ ඔප්පුව අනුරාධපුරයේ පෞද්ගලික බැංකු දෙකකට තබා ණය
මුදලක් ලබාගත් බව කියන සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුරයේ නීතිඥවරියක ජූලි 7 වැනිදා විශේෂ විමර්ශනයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ කමිටු අංක එක වෙත කැඳවා තිබේ.  ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් සී. හේරත් මහතා විසින් අදාළ නීතිඥවරිය මෙම විමර්ශනය සඳහා කැඳවා ඇත්තේ ඕපනායක පලාත ඉලුක්කුඹුරේ ජේ.බී. රොහාන් අනුරාධ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට කළ ලිඛිත පැමිණිල්ලක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

නීතිඥවරිය මෙම විමර්ශනය සඳහා නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් සී. හේරත් මහතා විසින් මෙලෙස කැඳවා ඇත්තේ අගවිනිසුරුවරයාගේ නියෝගයකට අනුවය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන මෙහෙයවා පසුව පැවරූ නඩුවක් මේ  වන විට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර තවත් සිවිල් නඩුවක් අනුරාධපුර දිසා අධිකරණයේ විභාග වෙමින් පවතී.

මේ අතර උතුරු මැද පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ විශේෂ නියෝගයක් මත පොලිස් අධිකාරි විජිත ද අල්විස් මහතා ද මෙම ව්‍යාජ ඉඩම් ඔප්පු සැකසීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් විමර්ශනයක් සිදුකරමින් පවතී.

(අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද)