වසර විස්සක් පමණ ආගිය අතක් නැතිව සිටි බව කියන මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ සිරුරක් කොට්ටාව පොලිසිය ආසන්නයේ මහමගදී සොයා ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
කොට්ටාව පොලිස් ස්ථානයට යාබද හයිලෙවල් මාර්ගයේ පිහිටි ඇස් කණ්ණාඩි ආයතනයක් ඉදිරිපිට සිරුරක් ඇති බවට කොට්ටාව පොලීසියට ලඳ තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

මේ බව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතාට දැන්වීමෙන් පසුව ඔහු එම
ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.

ඒ අනුව කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගිය දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සී.ඊ. රණසිංහ මහතා විසින් සිදුකර මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගත්තේය.

මියගිය පුද්ගලයා මීට වසර හතළිහක පමණ සිට සුළු ස්නායු රෝගයකින් පෙළී ඇති බවත් මහරගම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ඇගලුම් ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කර ඇති බවත් දැනට වසර විස්සක පමණ සිට ආගිය අතක් නැතිව සිටි පුද්ගලයෙකු බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇතැයි පැවසේ. මේ පිළිබඳව කොට්ටාව පොලිසියේ පො.සැ. (44064) පියසේන ඇතුළු නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)