හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර සීමාවේ උඩුවේරිය වතුයායේ වගා බිමක සතුන් පලවා හැරීම සඳහා අමානුෂික ලෙස කම්බිවලින් සුනඛයන් ගැට ගසන ලද හා එම වගා බිම අවට වන සතුන් දඩයම් කර ගැනීමේ අරමුණින් මදු අටවන ලද පුද්ගලයෙකු පසුගියදා (26දා) අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරී බව
හෝටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී.කේ.පී.එම්. ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
 උඩුවේරිය වතු යාය ප්‍රදේශයේ වගා බිමක් වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම  සඳහා මෙම පුද්ගලයා දිනකට එක්
සුනඛයෙකු බැගින් සුනඛයන්මාරු කරමින්  මෙසේ අමානුෂික ලෙස කම්බිවලින් ගැට ගසා ඇති බව සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී තිබේ.

වන සතුන් දඩයම් කිරීමේ අරමුණින්  මෙම පුද්ගලයා වගා බිම අවට මදු විශාල ප්‍රමාණයක් අටවා තිබී ඇති අතර එම මදුද වනජීවී නිලධාරින්ගේ භාරයට ගෙන තිබේ.
 මෙසේ සුනඛයන් දිගින් දිගටම අමානුෂික අයුරින් ගැට ගසා තිබීම හේතුවෙන් වනෝද්‍යානයේ වෙසෙන කොටියන් එම සුනඛයන් අල්ලා ගැනීමට පැමිණීමේ අවස්ථා නිර්මාණ
හැකි බවත්, ඇතැම් විට එසේ පැමි‍ණන කොටියන්ද  මදු වලට හසුවීමට ඉඩප්‍රතා ඇති විය හැකි බවත් විමර්ශනවලදී අනාවරණය විය.
සැකකරු හෙට (30දා) වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී.කේ.පී.එම්. ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් අනුව වනෝද්‍යානයේ නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබු අතර ඊට නුවරඑළියේ ජනප්‍රිය ගාල්ලගේ මහතා මාර්ග උපදේශකත්වයෙන් සහය දක්වා තිබිණි.

ශාන් හුලංනුගේ