අට හැවිරිදි පාසල් දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන 44 හැවිරිදි විවාහක හිටපු හමුදා කපිතාන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු යුද
හමුදාවේ සේවය කරමින් සිටියදී වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගත් අයකු බවත් ඔහුගේ විවාහක බිරිය ඔහු අතහැර ගොස් ඇති බවත් උහන පොලිසියේ නිලධාරියෙක්  පැවසීය.

මෙම අට හැවිරිදි දැරියගේ පියා සහ මෙම සැකකරු හොඳ මිතුරන් බවත් ඔහු නිතර නිවසට පැමිණ රෑ බෝවන තෙක් මත්පැන් පානය කරන බවද පරීක්ෂණවලින් හෙළිවිණැයි එම පොලිස් නිලධාරියා කීය.

සැකකරු හොර රහසේ රාත්‍රී එම නිවසට පැමිණ දැරිය ලිංගික අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිසිය කීය. දැරියගේ පියා කිසියම් ශබ්දයක් ඇසී විපරම් කර බලද්දී සැකකරු දැක ඔහුට කොස්සයින් පහරදී ඇති බවත් කොසු පහරකාගෙනම ඔහු පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි. දැරියගේ පියා කළ පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වා සැකකාර හිටපු යුද හමුදා කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

 ලිංගික අපයෝජනයකට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරික්ෂණයකට ලක්කිරිම සඳහා රෝහල් ගතකර තිබේ. උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් වේරගොඩ (58004) සහ කාන්තා පොලිස් සැරයන් ෂර්මිලා (5694) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)