හමුඳා සෙබළ පුතුගේ පහර කෑමට ලක් වූ බව කියන තිදරු මවට බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (22) සවස මියගිය බව පොල්පිතිගම පොලීසිය කියයි.



 මෙලෙස මරණයට පත්ව ඇත්තේ මොරගොල්ලාගම, නිකවැව, ගලහිටියාව ලිපිනයේ පදිංචි අබේගොඩ ලියනගේ කල්‍යාණි ලියනගේ (අවු 46) නමැති තිදරු මවකි. විදුම් යන්ත්‍රයකින් පහර දීම නිසා බරපතළ තත්ත්වයෙන් ඇය කුරුණෑගල රෝහලටත් ඉකුත් 20 වැනි දා නිකවැව රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලිසිය කියයි.

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ පිරිමි පුතුන් දෙදෙනකු යුද හමුදාවේ සේවය කරන අතර, බාල දියණිය මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බවත් අවුරුදු 26 ක් වයසැති වැඩිමල් පුතු පරන්තන් ප්‍රදේශයේ  යුධ හමුදා කදවුරක සේවය කොට නිවාඩු ලබා නිවසට පැමිණ සිටියදී මව හා පියා සමග ආරවුලකදී නිවසේ තිබු ග්‍රයින්ඩරයකින් තම මවගේ හිසට පහරදී ඇති බව මෙතෙක් සිදු කළ පරික්ෂණවලින් අනාවණය වී ඇතැයි පොලිසිය කියයි. රෝහලට ඇතුළත් කරන විට ඇය බරපතළ තත්වයේ සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

බරපතළ තත්ත්වයේ පසු වූ රෝගියා මහව රෝහල සතු ගිලන් රථයක් ගෙන්වා කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා දැඩි සත්කාර ඒකකයේ සිහිය නොලබා ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (22) සවස් යාමයේ මරණයට පත්ව ඇති බවට රෝහල් පොලීසිය මගින් පොල්පිතිගම පොලිසිය වෙත දැනුම් දී තිබේ. මෙම මව නිකවැව රෝහලට ඇතුළත් කොට ඇය කුරුණෑගල රෝහලට යැවීමෙන් පසුව එම හමුදා පුතා නිවසේ පසු වූ පියාටද පහරදීම හේතුවෙන් 21 වැනි දින අලුයම් කාලයේ පියාද හුස්ම ගැනීමේ දැඩි අපහසුවකින් යුතුව නිකවැව රෝහලට ඇතුළත් කළ බවත්, එම පියාඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා තවමත් එහි 27 වැනි වාට්ටුවේ මාසිකව ප්‍රතිකාර ලබනා නමුත් ඔහුගේ තත්වය බරපතළ නොවන බවත් රෝහල් සේවකයෙක් පැවසීය.

වසර ගණනාවක් හමුදා සේවයේ යෙදි සිටින මෙම අවුරුදු  26 ක් වයසැති අවිවාහක පුතා නිවසට නිවාඩු ලබා පැමිණෙන බොහෝ අවස්ථාවල මව හා පියා සමග අඩ දබර වෙන බවට කරුණු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද පොලිසිය කීය.  සිද්ධියට සැකපිට නිවාඩු ලබා පැමිණ සිටි යුධ හමුදා සෙබළ පුතා අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(මොරගොල්ලාගම සිසිර කැලේගම)