දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බවයි.


විවෘත කිරීමට පෙර සියලු සිනමා ශාලා විෂබීජහරණයට ලක් කිරීමට නියමිතය.

සිනමා ශාලාවලට පැමිණෙන්නන් පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලාව ඉදිරියේදී නිකුත් කරන බව, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් සිනමා ශාලා වසා දැමුණේ පසුගිය මාර්තු මස 14 වැනිදායි.

ඒ අනුව, සිනමා ශාලා වසා තැබුණු කාලසීමාව මාස තුනකට අධිකය.

මේ වන විට චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය අපේක්ෂාවෙන් ලැයිස්තුගතව පවතියි.