මුඛ ආවරණ නොපළඳින මගීන්ට ගමන් කිරීමට ඉඩ ලබාදෙන බස් රථවල මාර්ග බලපත‍්‍ර අත්හිටුවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප‍්‍රසන්න සංජීව මහතා පවසයි.
එසේම මුඛ ආවරණ නොමැතිව බස් රථ තුළට මගීන් නංවා ගන්නා බස් රථ සේවකයන්ට එරෙහිවද දැඩි විනය කි‍්‍රයාමාර්ග ගන්නා බවද හෙතෙම කීය. පවතින කොරෝනා අවදානම තුළ මගීන් මුඛ ආවරණ පැළඳ බස් රථ තුළ ගමන් කිරීම අනිවාර්ය බවද ඒ මහතා කියා සිටියේය.


එමෙන්ම බස් රථවල ආසන ගණනට මගීන් රැගෙන යා යුතු බවත්, එසේ නොකර බස් රථවල අධික ලෙස මගීන් පටවාගෙන යන බස් රථ සේවකයන්ට එරෙහිව ද දැඩි කි‍්‍රයා මාර්ග ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය. බස් රථවල මුඛ ආවරණ නොමැතිව මගීන් රැගෙන යන්නේද යන්න සොයා බැලීමට මාර්ග පරීක්‍ෂකවරුන් යොදවා ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.