විදුලි බිල්පත් ගෙවීමේදී නිවැරදිම බිල්පත වන්නේ අවසන් වරට නිකුත් කර ඇති බිල්පත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. එය නිකුත් කර ඇත්තේ පාරිභෝගකයින් පරිභෝජනය කළ විදුලි ඒකක ගණන සඳහා පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.



විදුලි බිල්පත් සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේද යන්න පිළිබඳ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විමසීමක් කළේය. ඒ පිළිබද පැහැදිලි කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ට ලබා දෙන සහන ඒකක 30 හි සහනය එලෙසින්ම ක්‍රියාත්මක බවත් මාස දෙකක බිල්පත් එකවර ලබාදීමේදී එය ඒකක හැටක් ලෙස සළකා කටයුතු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා පවසයි. කෝවිඩ් 19 හේතුවෙන් ඇදිරිනීතිය බලපැවැත්වූ කාලසීමාවෙහි ගෘහස්ථ විදුලි පරිභෝජනය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. එහෙයින් යම් අයෙකුට පෙබරවාරි මාසයේ බිලට වඩා වැඩි අගයක් සහිත බිලක් ලැබී ඇත්තේ එමහේතුව මත බව සභාපතිවරයා පෙන්වා දෙයි. බිල්පත වාරික කිහිපයකින් ගෙවීමට අවස්ථාව සලසා ඇති බවත් කිසිදු නිවසක විදුලිය විසන්ධි කිරීමක් සිදුනොවන බවත් ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.