බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සියදිවි නසාගැනීම්, මානසික අවපීඩනය සහ වැරදි වැටහීම් පිළිබඳව විශේෂඥයින් සමඟ සිදුකළ සාකච්ඡාවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබේ.
දීපිකා පදුකෝන් යනු මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව නිතරම කතා කරන නිළියකි. විශේෂයෙන් වර්තමාන කාලය තුළ මානසික සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමේ ඇති අවශ්‍යතාව විදහා  දක්වමින්  විවිධ කරුණු සාකච්ඡා කරන ඇය නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අභාවය පිළිබඳවද එහිදී අදහස් දක්වා ඇත. ඇගේ සහෝදර නළුවාගේ අභාවය මෙම මාතෘකාව ගැන ඇයට වැඩිපුර කතාකාරීමට නිමිත්ත වී තිබුණි.

මානසික සෞඛ්‍ය විශේෂඥයින් සමඟ සියදිවි නසාගැනීමේ සිතුවිලි වලට තුඩු දෙන හේතු සහ එය වළක්වා ගත හැකි ආකාරය පිළිබඳව වැඩිවශයෙන් සාකච්ඡා කළ දීපිකා බොහෝවිට වයස අවුරුදු 15-25 ත් අතර පුද්ගලයින් සියදිවි නසාගැනීම සඳහා බහුලව යොමුවන්නේ ඇයිදැයි යන්න පිළිබඳවද ඔවුන් සමග සාකච්ඡා කරන ලදි.

කෙසේවෙතත් යමෙකු මානසික සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂඥයෙකු සමඟ කතා කිරීමේ ඇති අවශ්‍යතාවය හා වැදගත්කම පිළිබඳවද මෙහිදී විස්තර කරනු ලැබීය. සමාජයේ යහපත වෙනුවෙන් සිදුකළ දිපිකාගේ මෙම වීඩියෝව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තම තමන්ගේ විවිධ මතයන්ද ඉදිරිපත් කර තිබුණි.
රිෂ්මි ඉෂාරා