විසිවන සියවසේ වාමාංශික විප්ලවවාදී නිරූපකයෙකු වන "අර්නෙස්ටෝ චේ ගුවේරා" උපන් ස්ථානය ලෙස සැලකෙන ආර්ජන්ටිනාවේ රොසරියෝ නගරයේ පිහිටි මහල් නිවාසය විකිණීමට සූදානම් කර ඇත. එහි වත්මන් හිමිකරු ෆ්‍රැන්සිස්කෝ ෆාරුජියා පවසා ඇත්තේ නගර මධ්‍යයේ ඇති නව සම්භාව්‍ය ශෛලමය
ගොඩනැගිල්ලෙහි වර්ග මීටර් 240 ක් තමා මිලදී ගත් බවත් එය සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට තමාට අවශ්‍ය වූ නමුත් එම සැලැස්ම කිසි විටෙකත් ක්‍රියාත්මක නොවුනු බවත්ය.

එනමුත් ආර්ජන්ටිනාවේ මෙම ව්‍යාපාරිකයා තමා ඉල්ලන මිල කොපමණදැයි තවමත් පවසා නැත. කෙසේවෙතත් කියුබානුවන් විසින් චේගුවේරා මිය ගොස් වසර 50ක් බව සිහිපත් කර ඇති අතර ඔහුගේ නිවස කයිට්සර්ෆිං තෝතැන්නක් බවට පත් වූ අයුරු පිළිබඳවද විවිධ අදහස් පලකරමින් සිටී.

කෙසේවුවද වසර ගණනාවක් පුරා උර්කියුසා සහ එන්ට්‍රේ රියෝස් වීදි අතර පිහිටි ගොඩනැගිල්ල කෙරෙහි ප්‍රබල පුද්ගලයන් ගණනාවකගේ ආකර්ෂණය යොමු වී ඇත. එමෙන්ම උරුගුවේ හිටපු ජනාධිපති ජොසේ මුජිකා සහ කියුබාවේ විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ දරුවන්ද මේ සම්බන්ධයෙන් වැඩි අවධානයට ලක් වූ චරිත වේ.

චේගුවේරා 1928 දී ධනවත් මධ්‍යම පාන්තික පවුලක උපත ලැබුවද පසුකාලීනව ඔහු දකුණු ඇමරිකාවේ දුප්පත්කම හා සාගින්න ආදී කරුණු හේතුවෙන් ඉතා රැඩිකල් පුද්ගලයෙකු බවට පත්විය. මෙහි එක් ප්‍රතිපලයක් වශයෙන් 1953 සිට 1959 තෙක් පැවැති කියුබානු විප්ලවයේ දී ඔහු ඒකාධිපතියෙකු වූ ෆුල්ජෙන්සියෝ බැටිස්ටාවද පරාජය කරන ලදි.

එමෙන්ම දකුණු ඇමරිකාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයක් පුරාම තම විප්ලවය ව්‍යාප්ත කිරීමට චේගුවේරා තම දායකත්වය සපයා ඇත.

ඔහු වරෙක කියුබාවේ සිට බොලිවියාවට යන ලද්දේද ජනාධිපති රෙනේ බැරියෙන්ටෝස්ගේ රජයට එරෙහිව කැරලි ගැසීමට නායකත්වය දීම සඳහාය. නමුත් එක්සත් ජනපදයේ සහය ඇතිව බොලිවියානු හමුදාව විසින් චේගුවේරාව සහ ඔහුගේ අනෙකුත් සටන්කරුවන් එහිදී අල්ලා ගන්නා ලදි. පසුව 1967 ඔක්තෝබර් 9 වන දින ලා හිගුවේරා ගම්මානයේදී ඔහුව ඝාතනය කරන ලදි. නමුත් ඔහුගේ දේහය තැන්පත් කරන ලද්දේ රහසිගත ස්ථානයකය.

පසුකාලීනව 1997 දී ඔහුගේ දේහය සොයාගනිමින් එය නැවත කියුබාවට ගෙන එන ලදි. කෙසේවුවත් අදටත් මෙම විප්ලවවාදියාගේ අනුගාමිකයන් ලොව පුරා ජීවත් වේ. එමෙන්ම ඔහුගේ අනුගාමිකයන් ඔහුව දකින්නේ කැපවීමේ සහ ආත්ම පරිත්‍යාගය පිළිබඳ හොඳම උදාහරණයක් ලෙස වුවත් ඔහුගේ ප්‍රතිවිරුද්ධවාදීන් ඔහු ඉතා කුරිරු මිනිසෙකු ලෙස හඳුන්වනු ලබයි.
රිෂ්මි ඉෂාරා