මාස දෙකකට පසු රට ඇරියත් තාම ඔක්කොම වැඩ පටන්ගෙනද? විවිධ ක්ෂේත්‍රයන් ගැන විමසුමක්

Ad Code

මාස දෙකකට පසු රට ඇරියත් තාම ඔක්කොම වැඩ පටන්ගෙනද? විවිධ ක්ෂේත්‍රයන් ගැන විමසුමක්

මාස දෙකකට වැඩි කාලයක් පුරා පැනවී තිබූ ඇඳිරි නීතිය පසුගිය සතියේදී ලිහිල් කිරීමෙන් පසුව බලධාරීන් විසින් නියම කර තිබෙන සෞඛ්‍යාරක්ෂිත මඟ පෙන්වීම්වලට ඇලී සිටිමින් එදිනෙදා වැඩකටයුතු සිදු කරගැනීම සඳහා නිවෙස්වලින් පිටත් වීමට මහජනතාවට අවස්ථාව උදා විය.
මාර්තු මාසයේ සිට දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය ලිහිල් කරන ලද මෙම සතිය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඉතා වැදගත් අවස්ථාවක් විය.
ජන ජීවිතය යථාවත් කිරීමේ මුල් අදියර ලෙස ඇඳිරි නීතිය පැවතියදීම මැයි 11වන දින
මෙම දිස්ත්‍රික්කවල වැඩ ආරම්භ වූ අතර පසුගිය අඟහරුවාදා (26) දින ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ එදිනෙදා ජන ජීවිතය යථා තත්වයට පත් වීමේ තවත් අදියරක් දැකගත හැකි විය.
ඇඳිරි නීතිය ලිහිල් කළද Covid-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නීති රීති තවදුරටත් ක්‍රියාත්මක වේ. ආයතනවල එදිනෙදා ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන අවම සේවක පිරිසකට පමණක් එදිනෙදා රැකියාව සඳහා වාර්තා කරන ලෙස පවසන්නැයි සෞඛ්‍ය නිලධාරීන් විසින් දිගටම රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් ඉල්ලා සිටියි. රැකියාව සඳහා කාර්යාලවලට ගෙන්වාගන්නේ කොපමණ පිරිසක්දැයි තීරණය කිරීමේ වගකීම එම අංශවලට අයත් සංවිධානවලට පැවරී තිබේ.

බේකරි

රාත්‍රී 10 සිට උදෑසන 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ මේ සතිය තුළද බොහෝ අංශ වසා තැබුණු අතර තවත් ඒවා අඩු සේවක පිරිසක් හා ක්‍රියාකාරීත්වයක් යටතේ සේවයේ යෙදුණි. උදාහරණයක් වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ බේකරි විවෘත වූයේ පසුගිය අඟහරුවාදායින් පසුවය. බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන පවසන්නේ මේ වන විට දළ වශයෙන් බේකරි සියයට 90ක් පමණ විවෘතව පවතින බවය.
ඒවා විවෘත කළද කාර්යමණ්ඩලය හිඟ වීමේ අපහසුතාවකට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ බේකරි හිමියෝ මුහුණ පාන බව ජයවර්ධන මහතා පැවසීය. “එයට හේතුව වන්නේ මෙම දිස්ත්‍රික්ක දෙක අතර ගමනාගමනයට තවම තහංචි පැනවී තිබීමය. අපගේ බේකරි කාර්යමණ්ඩලවලින් වැඩි පිරිසක් ජීවත් ‍වන්නේ මෙම දිස්ත්‍රික්කවලින් පිටතය. නුවර එළිය, බදුල්ල සහ බණ්ඩාරවෙල වැනි දුර ඈත ප්‍රදේශවල සිටින සේවකයෝද අපගේ කාර්යමණ්ඩලයට අයත් වෙති. දිස්ත්‍රික්ක සීමා හරහා රැකියාව සඳහා පැමිණීමට තමාට අවසර ලැබේවිද කියා ස්ථිරව නොදැන සිටීම, පොදු ප්‍රවාහනයේ දුෂ්කරතා සහ නවාතැන් ගැනීමට ස්ථානයක් සම්බ වේවිදැයි තිබෙන අවිනිශ්චිතභාවය වැනි හේතුන් මත නැවත රැකියාව සඳහා පිටත්ව ඒමට ඔවුන් තුළ බියක් තිබේ” කියා ඒ මහතා විස්තර කළේය.

ජයවර්ධන මහතාගේ අදහස වූයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇතුල් වීමට තිබෙන තහංචි “තර්කානුකූල සහ ප්‍රායෝගික ඒවා නොවන” බවය.
“උදාහරණයකට, නුවර සිට පිටත් වන බස් රථයක පැමිණෙන පුද්ගලයෙකුට නිට්ටඹුවෙන් බැස කොළඹ පැමිණීමට තවත් බස් රථයක් ලබාගත හැකිය. මේ විදිහට බස් රථවලට මාරු වෙමින් පැමිණෙන පුද්ගලයන්ව නවත්වන්නේ කවුද? එය මගීන්ට අපහසු විය හැකි නමුත් එය සිදු වෙන බව අප දන්නවා” කියා ඔහු තවදුරටත් පැවසීය.

ඉදි කිරීම් කර්මාන්තය

කොළඹ දිස්ත්‍රික්කය තුළ යළි වැඩ අරඹන තවත් ක්ෂේත්‍රයක් වන්නේ ඉදි කිරීම් කර්මාන්තයය. නමුත් මෙම ක්ෂේත්‍රයට අදාළ ගැටලු රැසක්ද දැනට පවතින බව සඳහන්ය. “අපේ සේවා දායකයන්ගෙන් සියයට 80ක්ම සිටින්නේ රාජ්‍ය අංශයේ. ඔවුන් යැපෙන්නේ ඔවුන්ගේ සේවකයන් මත. නමුත් දැනට රාජ්‍ය අංශයේ කාර්යාලවල රැකියාවේ නියුතු සේවක සංඛ්‍යාව ඊටත් වඩා අඩුය” කියා ශ්‍රී ලංකාවේ ජාතික ඉදි කිරීම් සංගමයේ (NCASL) සභාපති එම්. ජී. කේ කරුණාවංශ මහතා සඳහන් කළේය. “පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා, ව්‍යපෘති සඳහා අරමුදල් අනුමත කිරීමට සහ ඉදි කිරීම් සම්බන්ධ වෙනත් කාරණා අනුමත කිරීමට සේවාදායකයන් අවශ්‍යයි. ඒ සඳහා ඔවුන්ගේ කාර්යාලවල පුද්ගලයන් සිටිය යුතුයි. නමුත් අපි රාජ්‍ය අංශයේ කාර්යාලවලට ගියාම ඒවායේ හිටියේ කාර්යමණ්ඩලයේ ඉතා අඩු පිරිසක්. රාජ්‍ය අංශයේ බොහෝ කාර්යමණ්ඩල තවමත් නිවසේ සිට රැකියාවේ යෙදෙන අතර රැකියාව සඳහා වාර්තා කරන පිරිස් ප්‍රමාද වී පැමිණ කලින්ම කාර්යාලයෙන් පිටත් වෙයි. අපගේ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා ඔවුන් සතුව ප්‍රමාණවත් පුද්ගලයන් සංඛ්‍යාවක් නොමැති වීම නිසා එතරම් දෙයක් සිදු කරගත නොහැකිය.”

කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ඉදි කිරීම් ව්‍යාපෘති නියෝජනය කරන කරුණාරත්න මහතා පැවසුවේ ඔවුන්ගේ වැඩ බිම්වල ඉදි කිරීමේ ව්‍යාපෘතිවල හවුල් වීමට සිටින සේවක පිරිසද ඉතා අඩු බවය. “අපිට වැඩේ කො‍හොමහරි කරගන්න පුළුවන්. ඒත් සේවකයන් සිය ගණනක් සේවයේ යෙදිය යුතු වැඩ බිම්වල තත්වය මීට වඩා වෙනස්. සාමාන්‍යයෙන් සේවකයන් 100ක් සිටිය යුතු වැඩ බිමක සේවකයන් 25ක් පමණ සිටීමේදී වැඩ කරගන්න ඉතා අපහසුය. ඵලදායීතාවය පහත වැටෙන අතර කොන්ත්‍රාත්තුවේ සඳහන් වෙන දිනයට ව්‍යාපෘතිය අවසන් කළ නොහැකිය.”

ඉදි කිරීම් සේවකයන් මෙන්ම බොහෝ කොන්ත්‍රාත්කරුවන්ද සිටින්නේ බස්නාහිර පළාතෙන් පිටත දුර ඈත ගම්මානවලය. ඔවුන්ගෙන් බොහෝදෙනෙකු ඉහතරට සහ උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල දිවි ගෙවයි. ඇතැමුන් මාස දෙකකට කිට්ටු කාලයක් පුරා ගම්බිම් බලා යා නොහැකිව කොළඹ දිස්ත්‍රික්කයේ කොටු වී සිටි අතර රාජ්‍ය සහය ඇතුව නැවත ගම්බිම් බලා පිටත් වී දැනට වැඩි දවසක් ගත වී න‍ොමැතිය. “නැවත කොළඹට එන්න බස් රථ හමු වෙයිද, ආවායින් පසුව නවාතැන් ගන්නා ස්ථාන සොයාගත හැකි වෙයිද වැනි ගැටලුවලය ඔවුහූ මුහුණ දෙති. නැවත රැකියාව සඳහා පිටත් වීමට තමන්ට ග්‍රාම නිලධාරීවරයාගේ හෝ PHI නිලධාරියාගේ අවසර අවශ්‍ය බවද ඇතැමුන් සිතති. අප ඔවුන්ට රැකියාව සඳහා ආරාධනා කර ඇති බව සාක්ෂියක් ලෙස රැකියාවට පැමිණීමේදී පොලිස් නිලධාරීන්ට පෙන්වීම සඳහා අප විසින් ඔවුන්ට ලියුම්, කෙටි පණිවිඩ සහ Whatsapp පණිවිඩ ආදිය යවා තිබේ” කියා ඔහු පැවසීය.

නැවත රැකියා සඳහා පැමිණෙන පුද්ගලයන් පිළිබඳව රජය නිකුත් කර තිබෙන පණිවිඩය අපැහැදිලි බව කරුණාවංශ මහතා පැවසීය. කොළඹ නගරයට පැමිණ රැකියාවේ නිරත වීමේදී තමන්ට Covid-19 ආසාදනය වේවි කියාත් තමන් නැවත තම ගම්බිම් බලා පිටත් වූ විට ඔවුන් එම වෛරසය ගම්බිම් කරා රැගෙන යාවිද කියාත් ඇතැමුන් තුළ බියක් මතු වී තිබේ. දැනට මුහුණපාන ගැටලුවලට විසඳුමක් සොයාගැනීම සඳහා ඉදි කිරීම් සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා පැවැත්වූ බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

සැලූන් සහ සංචාරක කර්මාන්තය

දැනට සැලූන් සිදු කරන්නේ සීමිත කාර්යයන් පමණක් වන අතර ඒවායේ සේවයේ නිරත වන්නේද සියයට 50ක පමණ කාර්යමණ්ඩලයක්ය. “අපි දැනට ලබා දෙන්නේ සේවාවන්ගෙන් සියයට 50කට අඩු ප්‍රමාණයක්. ගනුදෙනුකරුවන් පැමිණෙන්නේ කලින් වෙන් කරගත් වේලාවන් අනුවය” කියා හිසකෙස් සකස් කිරීමේ සහ රූපලාවන්‍ය ශිල්පීන්ගේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති නයනා කරුණාරත්න ප්‍රකාශ කළාය.
මුඛ හා නාස් ආවරණ, මුහුණු ආවරණ ආදිය පැළඳ කටයුතු කිරීමේදී අපහසුතාවයක් දැනිය හැකිය.

කරුණාරත්න මෙනවිය පැවසුවේ මේ පිළිබඳව එම අංශයේ රැකියාවේ නියුතු පුද්ගලයන්ගෙන් චෝදනා එල්ල වී නොමැති බවය. “අපි වැඩ කරන්නෙමු. කිසිවක් නොමැතිව සිටිනවාට වඩා එය හොඳය.” මෙය ගැනුම්කරුවන් සමඟ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට අපහසු ක්ෂේත්‍රයක් වන බැවින් ආරක්ෂිත ආම්පන්න සහ දැඩි මඟ පෙන්වීම් ලබා දීම අවශ්‍ය වූ බව ඇය තවදුරටත් පැවසීය.

වසංගතය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වූ සංචාරක කර්මාන්තයද යළි ආරම්භ වෙමින් පවතියි. මෙහි මුල් පියවර ලෙස බදාදා (27) සිට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර තිබෙන හෝටල් සහ ආපන ශාලා විවෘත කිරීමට රජයේ අනුමැතිය ලැබුණි. එහි දියුණුව අනුව ලියාපදිංචි කර නැති ආපන ශාලාද පසුව විවෘත කිරීමට රජය බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ සභාපතිනිය කිමාලි ප්‍රනාන්දු පැවසුවේ, ඇතුළත ආහාර ගැනීම සඳහා හෝටල් සහ ආපන ශාලා විවෘත වෙමින් පවතින බවය. මීළඟ අරමුණ වී තිබෙන්නේ විදෙස් සංචාරකයන් සඳහා අගෝස්තු 1වෙනි දින සිට රට විවෘත කිරීමට බව ඇය සඳහන් කළාය. ඒ අතරතුර සෞඛ්‍යාරක්ෂිත මඟ පෙන්වීම්වලට දැඩි ලෙස ඇලී සිටිමින් විවාහ උත්සව සහ වෙනත් උත්සවයන් පැවැත්වීම සඳහා උත්සව ශාලා විවෘත කිරීමට හෝටල්වලට අනුමැතිය ලබා දෙමින් පවතියි.‍ සහභාගි වන්නන් අතර මීටර 1.5 දුරස්ථභාවයක් පවත්වාගැනීම, ශාලාව තුළ ඇති ආසන ප්‍රමාණය අඩු කිරීම සහ උපරිම පුද්ගලයන් 100කට පමණක් ශාලාවට ඇතුල් වීමට ඉඩ දීම මූලික මඟ පෙන්වීම්වලට අයත්ය.

හෝටල්වලට අයත් ආපන ශාලා විවෘත කළද ඒවාට අයත් සම්බාහන මධ්‍යස්ථාන, gym සහ පිහිනුම් තටාක දිගටම වසා තැබෙන බව ප්‍රනාන්දු අවධාරණය කළාය.

දුම්රිය

බලධාරීන් පවසන පරිදි රැකියා සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ ගමනාගමනය වැඩිදියුණු කර තිබේ. රැකියා සඳහා වාර්තා කරන පුද්ගලයන් වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් මෙම සතිය තුළදී දුම්රිය 25ක් සේවයේ යොදවා තිබෙන බව වාර්තා වේ. ඒවා මාර්ග 5ක් ඔස්සේ, එනම් ප්‍රධාන මාර්ගය, වෙරළබඩ මාර්ගය, කැලණි මිටියාවත් මාර්ගය, පුත්තලම් මාර්ගය සහ උතුරු මාර්ගය ඔස්සේ ධාවනය වේ. බෙලිඅත්ත සිට කොළඹ සහ නුවර සිට කොළඹ ධාවනය වීම සඳහා තවත් දුම්රිය දෙකක්ද පසුව ගමන් ඇරඹීය.

වජිර පොල්වත්තගේ මහතා සඳහන් කළේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දුම්රිය තිබෙන බවය. “බදාදා දින ධාවනය වූ දුම්රියවල 18,000කට අසුන් ගැනීමට අවස්ථාව තිබූ නමුත් දුම්රිය තුළ ගමන් ගත්තේ 15,901ක්ය” කියා ඔහු පැවසීය.

දැනට දුම්රිය සේවය භාවිත කළ හැක්කේ රැකියා සඳහා පිටත් වන අයට පමණක් වන නමුත් ඇතැමුන් පෞද්ගලික ගමන් සඳහාද දුම්රිය ‍සේවය භාවිත කිරීමට උත්සාහ කළ අවස්ථා තිබූ බවත් ඒ සඳහා අවසර නොමැති බවත් පොල්වත්තගේ මහතා ප්‍රකාශ කළේය. “මතු වී තිබෙන තවත් ගැටලුවක් වන්නේ ඇතැම් මගීන් ඔවුන් සඳහා වෙන් කර තිබෙන දුම්රිය පැමිණෙන තෙක් රැඳී නොසිට දුම්රිය ස්ථානයට පැමිණෙන මුල් දුම්රියට ඇතුල් වීමට වෑයම් කිරීමය. එක් එක් පුද්ගලයා ගමන් කළ යුතු දුම්රිය නියම කිරීමේ අරමුණ වන්නේ එම පුද්ගලයන් අසල ගැවසෙන්නන් පිළිබඳව වාර්තාවක් (Contact tracing) තබාගැනීමය.

 දුම්රිය තුළ නියමිත ප්‍රමාණයට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් ගමන් කිරීම හේතුවෙන් වෛරසය පැතිර යෑමේ අවදානම වැඩි වන අතර පුද්ගලයෙකු ආසාදිත වුවොත් ඔහු අසල ගැවසුණු පුද්ගලයන්ව හඳුනාගැනීමද අපහසු වේ.  හික්මීමක් ඇතුව කටයුතු කරන ලෙසත් තමන් වෙනුවෙන් වෙන් කළ දුම්රිය පැමිණෙන තෙක් රැඳී සිටින ලෙසත් අප ඉල්ලා සිටින්නේ එම නිසාය” කියා ඔහු අවධාරණය කළේය.

(සඳුන් ජයවර්ධන විසින් Sunday Times වෙත පළ කළ වාර්තාවක් ඇසුරිනි)
එස්. දහනායක

[June01, 2020 - Gossiplankanews.com]








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Close Menu