මෙම සතිය වන විට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 60ක්ම නාවික හමුදා සබඳතාවයක් තිබෙන පුද්ගලයන්ය. තහවුරු කරන ලද මුල් නාවික හමුදා ආසාදිතයා අප්‍රියෙල් 22 දින වාර්තා විය. නිවාඩුවකට නිවස බලා ගොස් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරියෙක්ට රෝග ලක්ෂණ පහළ වූ පසුව ඔහුව
වැලිකන්ද රෝහලට ඇතුල් කරන ලදි. නමුත් දැන් බලධාරීන් පවසන්නේ ඊට දින ගණනාවකට පෙර සිටම ‍නව කොරෝනා වෛරසය නාවික හමුදා කඳවුර තුළ පැතිර ඇති බවය. ව්‍යාප්තිය හඳුනාගැනීමට පෙර සිටම  ‍වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වී තිබීම සහ බොහෝ ආසාදිත නිලධාරීන් තුළ රෝග ලක්ෂණ නොපෙන්වීම මෙතරම් විශාල ව්‍යාප්තියක් සිදු වීමට හේතු වූ බව නාමිනී විජේදාස විසින් “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට පළ කළ ලිපියක සඳහන් විය.
“මෙම පුද්ගලයන් කඳවුර ඇතුළත සිටි අතර ආසාදනය වීමේ විවිධ අවදිවල පසු වී තිබේ” කියා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ වසංගත ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරනායක පවසයි. තනි කාමර ලබා නොදෙන නිරෝධායන මධ්‍යස්ථානවලද පහසුවෙන් වෛරසය ව්‍යාප්ත වීමට ඉඩ තිබෙන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

වැඩිම ඉලක්කගත අවදානමක් තිබෙන නාවික හමුදා සාමාජිකයන්ට කණ්ඩායම් වශයෙන් මුලින්ම පරීක්ෂණ සිදු කරන ලදි. රෝගය සමාජයේ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදා නොවන කණ්ඩායම්වලටද පී. සී. ආර් පරීක්ෂණ කට්ටල ලබා දීමට සිදු විය. “නාවික හමුදා පොකුර පාලනය කරගත හැකි මට්ටමකට ඒමෙන් පසුව සමාජය තුළ සිටින පුද්ගලයන්ගේ පරීක්ෂණ සිදු කිරීමට මුල් තැන දුනි” කියා නිල මූලාශ්‍රයක් සඳහන් කළේය.
වෛරසය නාවික හමුදා කඳවුරට ඇතුල් වූයේ කොහෙන්ද සහ කෙසේද යන්න නොදන්නා කරුණක්ය. ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේදී කුඩු සාමාජිකයන් අල්ලන්ට ගිය විට එය ආසාදනය වන්නට ඇතැයි සැක පළ කරයි. නමුත් තවත් ක්‍රියාකාරකම්වලද නාවික හමුදා සාමාජිකයන් හවුල් වී තිබේ. කොටහේන බණ්ඩාරනායක මාවතට වෙනත් පුද්ගලයන් ඇතුළු වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම වැනි කාර්යයන් ඊට අයත්ය. පිටත ස්ථානවල ක්‍රියාකාරකම්වල යෙදුණු හමුදා නිලධාරීන් එම කාලය වන විට ආරක්ෂක උපාංග පැළඳ නැති අතර ඔවුන්ගේ සපත්තු මගින් පවා වෛරසය අහුලාගැනීමට ඉඩ තිබිණ.
මුල් අවදිවලදීම කිසිවෙකු රෝග ලක්ෂණ නොපෙන්නුවද අතරින් පතර පී. සී. ආර් පරීක්ෂණ සිදු කළා නම් නාවික හමුදා පොකුර මෙතරම් විශාල වීම වළක්වාගැනීමට ඉඩ තිබූ බව සමරවීර මහතා පැවසීය. නමුත් එසේ සිදු නොකිරීම නිසා උදා වූ තත්වයෙන් පාඩමක් ඉගෙනගෙන තිබෙන බව සඳහන්ය.
නාවික හමුදාවේ සාමාජිකයන්ට සිදු කරන පරීක්ෂණ අනුව සෑම දිනකම පාහේ යම් පිරිසකට වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වේ. ආසාදිනය වී ඇති බවට පරීක්ෂණ මගින් තහවුරු වූ වැඩි දෙනෙකුට රෝග ලක්ෂණ නොපෙන්වයි.

තවමත් නිරෝධායනයේ සිටින නාවිකයන් ඉලක්ක කරගෙන ජූනි 5, 6, 7 දිනවලදී පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබිණ. මෙහිදී ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑමේ ප්‍රවණතාවයක් පැවතුණි. නමුත් මෙම පොකුර ජූනි තුන්වන සතිය වන විට කුඩා වේයැයි අපේක්ෂා කරයි. වැලිසර කඳවුරේ සාමාජිකයන්ව නැවත සේවය සඳහා ගෙන්වාගත යුත්තේ පාලනයකින් යුතුව බව නිලධාරීහූ පැවසූහ.

ආසාදිතයන්ගේ සමීප සබඳතා පිළිබඳව සොයා බලා ඔවුන්ව පරීක්ෂණයට බඳුන් කිරීම හදිසි මෙන්ම වැදගත් කාර්යයක් විය. අප්‍රියෙල් 25 සිට 29 දක්වා දින 5 ඇතුළත නාවික හමුදා පවුල් සාමාජිකයන් 82කට වෛරසය ආසාදනය වී තිබෙන බව පරීක්ෂණ මගින් තහවුරු විය. ඊට අමතරව ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් කිහිපදෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබූ බව නිල දත්ත මගින් පෙන්වා දෙයි.

මින් පසු කාල සීමාව තුළදී ආසාදනය වී ඇති බව හෙළි වූ වැඩිදෙනෙකු නාවිකයන්ය. මැයි 16 සිට ජූනි 3 දක්වා එක් ආසාදිත පවුල් සාමාජිකයෙකු පමණක් වාර්තා විය. මැයි 7වෙනිදා දක්වා ආසාදනය වූ කිසිම සමීප ආශ්‍රිතයෙකු පිළිබඳව වාර්තා නොවේ.
සමීප සබඳතා පිළිබඳව සොයා බැලීම සංකීර්ණ කාර්යයක් වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපියෙහි සඳහන් විය. මේ සඳහා පොලීසිය, සෞඛ්‍ය අංශය සම්බන්ධ වන අතර බුද්ධිමත් වීමද අවශ්‍යය. හමුදා සාමාජිකයන් තම නිවෙස් බලා යන විට සාමාන්‍යයෙන් අතරමඟදී බොහෝ ස්ථානවලට ගමන් කරයි. වාර්තා වූ මුල්ම නාවික හමුදා ආසාදිතයාගේ ගම පොළොන්නරුවය. නාවික හමුදා බස් රථයක නැඟ කඳවුරෙන් පිටත් වූ ඔහු එම බස් රථය මගින් දඹුල්ලට ගමන් කර තිබේ. පසුව වෑන් රථයක වෙළඳසැලට ගිය ඔහු ලොරියකද ගමන් කර තිබේ. ගමන අතරතුර එක් අවස්ථාවකදී ඔහු ත්‍රී රෝද රථයක ගමන් කර ඇති අතර යම් ආහාරයක්ද අනුභව කර තිබේ.

වාර්තා වන පරිදි ඔහු ආසාදිත බව දැනගෙන පැය 24ක් ඇතුළත ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ කිට්ටු නෑදෑයන් ඇතුළු 41දෙනෙක්ව සොයාගෙන නිරෝධායනයට යොමු කරන ලදි. ස්වයං නිරෝධායනය වන ලෙසද ඇතැමුන්ට පැවසීය. ගම්මාන තුනක් අගුළු දැමීය. ඔහු ගමන් කළ ස්ථාන පිළිබඳව සොයාබැලීමට තාක්ෂණය යොදාගැනුණි. සාමාජිකයන් 5000ක් පමණ සිටින වැලිසර කඳවුර මහසෙන්, ගැමුණු සහ තක්ෂිල ලෙස කඳවුරු තුනකට බෙදනු ලැබූ අතර මහසෙන් කඳවුරේ සාමාජිකයන්ට මුලින්ම පරීක්ෂණ සිදු කරන ලදි. මුල් ආසාදිතයා නවාතැන් ගත් ස්ථානයද විෂබීජහරණයට පියවර ගන්නා ලදි.

මේ සමඟම නිවාඩු ගොස් සිටි සියලු සාමාජිකයන්ව නැවත කැඳවනු ලැබූ අතර කඳවුරට යවනවා වෙනුවට ඔවුන්ව කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පාසැල් 52කට යවනු ලැබීය.

මේවා නිරෝධායන මධ්‍යස්ථාන නොවන අතර සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ව නිරීක්ෂණය යටතේ තබාගැනීම සඳහා යවන ලද ස්ථාන වේ. එම පාසැල්වලින් 35ක් පමණ අද වන විට නැවත හිස් වී තිබේ.
රට පුරා පවතින ‍ඇතැම් රෝහල්වලටද ඇතැම් සාමාජිකයන්ව යවා තිබේ. ගැමුණු සහ තක්ෂිල යන කඳවුරුවල සාමාජිකයන් ආසාදනය වී නොමැති බවට හෙළි විය.
“ආසාදිතයන්ගෙන් සියයට 90ක් තුළම රෝග ලක්ෂණ පහළ නොවූ බව සහ එම වෛරසයේ ස්වභාවය අනුව අප ක්‍රියාමාර්ගයක් ගැනීමටත් පෙර එය වේගයෙන් ව්‍යාප්ත වන බව” මෙම කටයුතුවලට සම්බන්ධ එක් තැනැත්තෙක් සඳහන් කළේය. නමුත් අනෙකුත් කඳවුරු දෙක තුළ සිටින සාමාජිකයන් අතරද ආසාදිතයන් සිටින බව හෙළි වූ විට ඔවුන්ව තවත් ස්ථානවලට යැවීම සඳහා පියවර ගත් අතර දැනට එම කඳවුර තුළ රැඳී සිටින්නේ පරිපාලනය සහ ආරක්ෂාව සම්බන්ධ නිලධාරීන් පමණක් බවට වාර්තා වේ.

මෙම පොකුරට අයත් පුද්ගලයන් කඩිනමින් පාසැල්, නිරෝධායන මධ්‍යස්ථාන, නිවාඩු නිකේතන සහ ඇතැම් පවුල් නවාතැන් ගන්නා ස්ථානවලට යවා ඇති අතර ආසාදිතයන්ව රෝහල්වලට යොමු කර ඇති බව වාර්තා වේ. පුද්ගලයන් 1000ක් පමණ පිරිසක් නිරෝධායනය සඳහා විවිධ මධ්‍යස්ථානවලට යොමු කෙරුණු බවද තවත් නිවැසියන් 900ක් පමණ ස්වයං නිරෝධනයේ සිටි බවද වාර්තා විය. “අපගේ මූලික අරමුණ වන්නේ මෙම වෛරසය සමාජය තුළ ව්‍යාප්ත නොවන බවට වගබලා ගැනීම“ බව ඉහත සඳහන් කළ තැනැත්තා පැවසීය.

මෙම පුද්ගලයන්ව නිදහස් කරනු ලබන්නේ ඔවුන්ගෙන් වෛරසය ඉවත් වී ඇති බවට තහවුරු වූ පසුව වන අතර ඉන්පසුව දින 14ක කාලයක් නිවසේ සිට ස්වයං නිරෝධායනය විය යුතු බව සඳහන්ය.
අප්‍රියෙල් 30 වෙනිදායින් පසුව ශ්‍රී ලංකාව තුළ වෛරසය සමාජය තුළ ව්‍යාප්ත වනු දැකගත නොහැකි බව වාර්තා වේ. සුව වීම ඉහළ අනුපාතයක් ගන්නා බවද වාර්තාගතය.
නමුත් නාවික හමුදා පොකුර කුඩාව තබාගැනීමට සමත් වූයේ නම් බටහිර ආසියානු රටවල සිට තමාව ගෙන්වාගන්නා ලෙස ආයාචනය කරන පුද්ගලයන්ට නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් තුළ තවත් ඉඩ පහසුකම් තිබීමට හැකියාව පැවති බව නාමිනී විජේදාස සඳහන් කර තිබුණි.

(Sunday Times නමිනී විජේදාස ලියූ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක
[June09, 2020 - Gossiplankanews.com]