අර්ධ සුබෝපභෝගී බස් රථ සේවා අනිවාර්යයෙන්ම අවසන් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.



ඒ සඳහා සුදුසු වැඩ පිළිවෙළ සකස් කරන්නැයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතාට තමා උපදෙස් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය. දැනට එවැනි බස් රථ 400ක් පමණ තිබෙන අතර හැකි නම් බදුල්ල, කතරගම වැනි ප්‍රදේශවලට ධාවනය වන බස් රථ රාත්‍රී කාලයේ පමණක් ධාවනය කිරිමට හැකි පරිදි වැඩ පිළිවෙළක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ද මහින්ද අමරවීර මහතා කීවේය.

අර්ධ සුබෝපබෝගී යැයි පවසමින් සිදු කරන්නේ මගී ජනතාව ගසා කෑමක් බවත්, බස් රථයේ ජනෙල්වල එල්ලා ඇති දූවිලි වැදුණු තිර රෙදි ටිකක් හැරෙන්නට එහි වෙනත් අර්ධ සුඛෝපභෝගි බවක් තමන් නොදකින බවත් ඇමතිවරයා පැවසීය.  දැනට පුද්ගලික බස් රථවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා සාමාන්‍ය බස් රථවල බස් ගාස්තුව ද අර්ධ සුබෝපභෝගී බස් රථවල බස් ගාස්තුව මෙන් 1.5 කින් වැඩි කිරිමට හෝ එසේ නොහැකි නම් අර්ධ සුබෝපභෝගී බස් රථ සේවාව අවසන් කරන ලෙස පුද්ගලික බස් රථ අයිතිකරුවන් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

අධ්‍යපන අමාත්‍යශයේ දී පෙරේදා (16) පැවැති සාකච්ඡාවේදී ද පෞද්ගලික බස් රථ අයිතිකරුවන්ගේ සංගම් තමාගෙන් නැවතත් එම ඉල්ලීම කළ බව ඇමතිවරයා කීවේය. දැනට සෞඛ්‍ය හේතූන් මත ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරිමට සිදුවීමත්, දිවා කාලයේ ගමන් කරන්නේ සීමිත මගීන් සංඛ්‍යාවක් වීමත් නිසා ලැබෙන ආදායම බස් රථ ධාවනය සඳහා ප්‍රමාණවත් නොවන බව ද ඔවුන් පවසා තිබේ. පුද්ගලික බස් රථ සඳහා රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් ලබා දීමට තීරණය කළාක් මෙන් තමන්ගේ පාසැල් වෑන් සඳහා ද  රුපියල් ලක්ෂයක ණය මුදලක් බැංකු මගින් ලබා දෙන ලෙස පාසැල් බස් රථ හිමියන්ගේ සංගම් ද ඉල්ලා ඇතැයි කී ඇමතිවරයා ඒ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි ද කීවේය.

(ඩයනා උදයංගනී)