ල්ලතන්නිය, ලක්ෂපාන වලමලෙයි වත්තේ දී මද්දකට හසුවීමෙන් පසුව උඩවලව ඇත් අතුරු සෙවණ සත්ත්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කළු කොටියාගේ ගෙල පෙදෙස බරපතළ ලෙස අනතුරට ලක්ව තිබූ බව ඇත් අතුරු සෙවණ සත්ව රෝහල වෛද්‍යවරු පවසති.
 එම සතා මද්දට හසුවී පැය 12කට වැඩි කාලයක් සිටින්නට ඇතැයි පෙනෙන බවත් එම සිද්ධිය බැලීමට පැමිණ සිටි පිරිස් කෑකෝ ගැසීම් නිසා ඌ වරින් වර මද්ද පිටින්ම
කඩා පනින්නට තැත් කිරීම නිසා බෙල්ලට දිගින් දිගටම හානි සිදුවන්නට ඇතැයි සිතිය හැකි බවත් එම සත්වයාට ප්‍රතිකාර කළ කණ්ඩායමේ  සාමාජිකයෙක් ලංකාදීපයට ද පැවැසීය.


එම සතාට ප්‍රතිකාර  කිරිමේදී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛදවරුගෙන් උපදෙස් ලබාගෙන ප්‍රතිකාර  කළ බවත් ඔවුන් සමග සම්බන්ධීකරණයෙන් සියලු ප්‍රතිකාර සිදුකළ බවත් කී ඔහු දැනුම පමණක් නොව කුසලතා හා අත්දැකීම් සපිරි කණ්ඩායමක් එම ප්‍රතිකාර
කළ බවද පැවැසීය.

ඉකුත් 26 වැනිදා මෙම කළු කොටියා වලමලෙයි වත්තේ එළවළු වගා භූමියක මද්දකට හසුවී සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍යවරුන් හා රන්දෙණිගල පශු වෛද්‍යවරුන් විසින් කොටියා නිර්වින්දනය කර මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ පශු වෛද්‍ය රෝහලට රැගෙන ගිය අතර  එහි ප්‍රතිකාර ලබමින් සිටියදීමිය ගියේය.  පශ්චාත් මරණ පරික්ෂණය එම රෝහලේදී සිදු කිරිමට නියමිතව තිබූ නමුත් වනජීවී නිලධාරිගේ ඉල්ලීම මත එම සිරුරට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය ඒකකය වෙත ගෙනයනු ලැබිණි. එහිදී විශේෂඥ පශු වෛද්‍යවරුන් සිවු දෙනකුගේම සහභාගිත්වයෙන් පශ්චාත්  මරණ පරික්ෂණය සිදු කරනු ලැබිණි.


 එහිදී සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේ වාර්තාව ඊයේ ලැබීමට නියමිතව තිබුණි. එහිදී මරණයට හේතුව හෙළිවනු ඇතැයි පැවැසේ. එම වාර්තාව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එම කළු කොටියා මද්දෙන් බේරාගත් අවස්ථාවේම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පශු ඒකකය වෙත ගෙන නොගියේ මන්දැයි ලංකාදීප කළ විමසුමකදී එම රෝහලේ නිලධාරියකු පැවසුවේ පේරාදෙණිය එම ඒකකයේ ඇත්තේ පහසුකම් සහිත පශු රෝහලක් නොවන බවය. එහි උපකරණ මෙන්ම පහසුකම්ද මෙම සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බැවින් උඩවලවට ගෙන ගිය බව ඔහු සඳහන් කළේය.

(විනීතා එම් ගමගේ)