තමන් අලිමංකඩදී ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් 2000ක් 3000ක් මරා දැමූ බවටත් කිලිනොච්චියේදී තවත් දහස් ගණනක් මරා දැමූ බවටත් එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු
කළ කරුණා අම්මාන් විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම තම ස්ථාවරය රටට ප්‍රකාශ කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අනුර දිසානායක මහතා සමාජ මාධ්‍ය ඕස්සේ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා එහිදී වැඩිදුරටත් අවධාරණය කරන්නේ, “අවස්ථා දෙකකදීම මහින්ද රාජපක්ෂ මහතා විසින් කරුණා අම්මාන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනා බවත් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිව සිටි සමයේ කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ලෙස පත් කරගත් බවත් ය.

කරුණා අම්මාන් පවසන පරිදි මෙවරද ඔහු පොහොට්ටු පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුමක් තිබූ බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණෙයන් පසු ඔහුට රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් ලැබීමට නියමිත බවත් අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

කරුණා අම්මාන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා අලිමංකඩදී හමුදා සොල්දාදුවන් 2000ක් 3000ක් ඝාතනය කළ බවත්, කිලිනොච්චියේදී තවත් දහස් ගණනක් ඝාතනය කළ බවත්. මහින්ද රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය දරන කාලයේ එහි උප සභාපතිවරයා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති ධුරය දරණ කාලේ ඔහුගේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තමයා විසින් දෙවරක් ජාතික ලයිස්තුවෙන් තෝරාපත් කරන ලද පුද්ගලයා. එපමණක් නොව මෙවරද ජාතික ලයිස්තුවෙන් තෝරාපත් කරන්න ඔහුට ආරාධනා කළ බව ඔහු විසින්ම ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම එළඹෙන ගොඩනැගෙන ආණ්ඩුවේදී එහි ප්‍රබල තනතුරක් කරුණා අම්මාන්ට හිමිවන බව නිසැකයි.

දැන් මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? දකුණේදී සිංහල ජනතාව ආමන්ත්‍රණය කරන්න, මේ ඊනියා තවරාගත්තු දේශප්‍රේමය උතුරේ කොටි සංවිධානය ඝාතනය කළ බවත් කොටි සාමාජිකයන් මරා දැමූ බවත් එවැනි දේ වීරත්වයට නගමින් තමයි සිංහල ඡන්ද උකහාගැනීම වෙනුවෙන් මේ ඊනියා දේශප්‍රේමීන් පෙනීසිටින්නේ. එහි පරස්පරය කුමක්ද? උතුරේදී, නැගෙනහිරදි ඔහුගේ දෙමළ නියෝජිතයින් පෙනීසිටින්නේ හමුදා සොල්දාදුවන් ඝාතනය කිරීමේ ප්‍රමාණය, එය දහස් ගණනින් ඝාතනය කළ බවත් එය වීරත්වයට නගමින් දෙමළ ජනතාවගේ ඡන්ද ලබාගන්න.

ඔබ කල්පනා කරලා බලන්න, එකම කඳවුරක් එක පසෙකින් සිංහල ඡන්ද ලබාගැනීම වෙනුවෙන් කොටි ඝාතනය පිළිබඳවත්, දෙමළ ඡන්ද ලබාගැනීම වෙනුවෙන් හමුදා සොල්දාදුවන් ඝාතනය කිරීම පිළිබඳවත් උජාරුවෙන් කතාකරන තත්වයක් මතුවෙලා තියෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ පාලකයන්ට රාජපක්ෂ කඳවුර ඊණියා දේප්‍රේමීන් බවත්, ඔවුන්ට සියල්ල තමන්ගේ බලය කියන කරුණ හමුවේ යටපත් කළ හැකි බවත් බලය වෙනුවෙන් ඕනෑම කණ්ඩායමක් ඒකරාෂීකර ගත හැකි බවත් ඒ නිසා ඔවුන් දේශප්‍රේමීත්වයට වඩා බලලෝබීත්වයෙන් පිරුණු කණ්ඩායමක් බවත් තවදුරටත් ඔප්පු කරමින් තිබෙනවා.

ඒ වගේම, අපි දැනගන්න කැමතියි ආන්ඩුවේ නරන්තරයෙන් දේප්‍රේමීත්වය තවාරාගත්ත කණ්ඩායමක් ඉන්නවා. අපි බලාගෙන ඉමු මේ රංචුවේ ප්‍රකාශ කවර ආකාරයෙන් සිදුවේවිද කියලා. ඒ වගේම, පළමු වතාවට හමුදා සොල්දාදුවන් දහස් ගණනක් ඝාතනය කරපු බව හිටපු එල්ටීටීඊ නයකයෙක් ප්‍රකාශයට පත් කොරට තිබෙනවා. සාමාන්‍යයෙන් අද අපි බැලුවොත්, එල්ටීටීඊ සංවිධානයේ සමහර ක්‍රියාකාරකම්වලට හවුල් වූවන් අවුරුදු 20, 30 රිමාන්ඩ් බාරයේ සිරගත වී සිටිනවා. නමුත් හමුදා සොල්දාදුවන් දහස් ගණනක් ඝාතනය කරපු මහින්ද රාජපක්ෂ මහත්තයට හිතවත් අය එලියේ නිදැල්ලේ ජනතා නියෝජිතයන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් බවට පත්වෙමින් තිබෙනවා.

මෙයින් කියන්නේ අන් කවරක්වත් නෙවෙයි. රාජපක්ෂ කඳවුරට හිතවාදීනම් නීතිය ක්‍රියාත්මක නොවන බව. රාජපක්ෂ කඳවුරට හිතවාදීනම් ඔවුන් දේශප්‍රේමීන් බව. රාජපක්ෂ කඳවුරට හිතවාදීනම් ඔවුන්ට නීතියෙන් ගැලවී ක්‍රියාත්මක විය හැකි බව. ඒ නිසා අප විශේෂයෙන්ම ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් බලකොට කියා සිටිනවා කරුණාගේ මෙම ප්‍රකාශය පිළිබඳව තමන්ගේ ස්ථාවරය වහාම රටට හෙළිදරව් කළ යුතු යි කියා.” ය.