වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්‍රෑම් 03ක් ගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (17) නියම කළේය.

මීට වසර 07කට පෙර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ අවස්ථාවේදී විත්තිකාරිය රහස් ප්‍රදේශයේ සගවා හෙරොයින් බන්ධනාගාරයට ගෙන ගොස් ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා, විත්තිකාරියට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වූයේ ශ්‍රියානි මාලා සේනානායක නමැති 60 හැවිරිදි කාන්තාවකටය. 2013 අගෝස්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරැල්ල වැලිකඩ බන්ධනාගාරයේ දී හෙරොයින් ග්‍රෑම් 03.06ක් ළග තබා ගැනීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරන ලදී.

 මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී වෙනත් වරදක් සම්බන්ධයෙන් සැකපිට විත්තිකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත්  අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ අවස්ථාවේදී ඇගේ රහස් ප්‍රදේශයේ සඟවා හෙරොයින් බන්ධනාගාරයට ගෙන ගොස් ඇති  බව හෙළිවිය. බන්ධනාගාරයට ඇතුල්වන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරින් ඇය පරික්ෂාවට ලක් කිරීමේදී ඇගේ රහස් ප්‍රදේශයේ යම් පාර්සලයක් සගවාගෙන සිටින බව නිරීක්ෂණය වී ඇති බවත් ඒ අනුව සිදුකළ පරීක්ෂාවකදී පොලිතීන් කවරයක අසුරා සගවාගෙන සිටී කුඩු පැකට් 217ක් සොයා ගෙන ඇති බවත් හෙළිවූ අතර එහි ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 03.06ක් තිබී ඇති බවත් රජයේ රස පරීක්ෂකවරයා විසින් දැනුම් දෙන ලදී.

ඉදිරිපත්වූ සාක්කි අනුව විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති හෙයින් එම චෝදනාවන්ට ඇය වරදකරු බව විනිසුරුවරයා තීරණය කළේය.විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය අමතමින් ඇය වයෝවෘද්ධ වයසේ පසුවන හෙයින් ඇයට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටි අතර ඒ පිළිබඳව සලකා බැලූ විනිසුරුවරයා ඇයට ජීවිතාන්තය දක්වා වූ බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

(මනෝප්‍රිය ගුණසේකර)