මාර්තු 6වෙනිදා නවක වධය හේතුවෙන් රෝගාතුර වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පසිඳු හිරුෂාන් සිල්වා සිසුවා සති ගණනාවක ප්‍රතිකාරවලින් අනතුරුව දැන් නිවෙසට පැමිණි තිබේ. නමුත් විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව සහ රෝහල්ගත වීමට හේතු වූ අනතුර පිළිබඳව ඔහුගේ මත‍කයේ නොමැතිය.
දින 98ක් පුරා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පසිඳු යළි නිවසට පැමිණියේ පසුගිය බ්‍රහස්පතින්දාය. ඔහුගේ පාසැල් මිතුරන් සහ නෑදෑයන් විසින් ඔහුව උණුසුම්ව පිළිගන්නා ලදි. ඔවුන් එම අවස්ථාව සැමරූ බව වාර්තා විය. ඔහු එම අවස්ථාව පුරාවටම සිනහමුසු මුහුණින් සිටින අයුරු දැකගත හැකි විය.
නමුත් සම්පූර්ණයෙන්ම සුවය ලැබීම මෙම දක්ෂ සිසුවාට සටනක් වී තිබේ. ඇගේ සහෝදරිය වන ෂර්මිලා සිල්වා පැවසුවේ, “ඔහු තවමත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වී නොමැති” බවය. ඔහුට සිදු කරන ලද මොළයේ සැත්කම ඔහු තුළ විශාල බලපෑමක් ඇති කර තිබේ. ඔහුට සමබරතාවය පවත්වාගැනීම අපහසු වන අතර ඇවිදීමට යම් සහායක් අවශ්‍ය වේ. ඔහුගේ අතේ චලනයන් විශාල ලෙස අඩු වී තිබීම නිසා ඔහුට ලිවීම අපහසුය.
චලන හැකියාවන් නැවත ලබාගැනීම සඳහා ඔහු දැඩි භෞත චිකිත්සා ව්‍යායාම්වල නිරත වීමට නියමිත බව ඔහුගේ සොයුරිය ප්‍රකාශ කළාය. එමෙන්ම ඔහුව රෝහලෙන් නිවසට එවා තිබුණද ඔහුගේ සුව වීම ආපස්සට නොයන බවට තහවුරු කරගැනීම සඳහා සායනවලට සහභාගි වීමට නිතිපතා ඔහු රෝහලට ගමන් කළ යුතුය.
අනතුර හේතුවෙන් ඔහුට වචන පැටලීම සහ සන්නිවේදන දුබලතාද ඇති වී තිබේ. ඒ සඳහා ඔහු කථන චිකිත්සාවක නිරත වෙමින් සිටියි.

“ඔහුට තවම වචන ගළපගන්න බැහැ” ෂර්මිලා පැවසීය. ‍මේ හේතුවෙන් සහ සිහි මද ගතිය නිසාවෙන් ඔහුට නැවත ඉක්මනින් අධ්‍යයන කටයුතුවලට යොමු විය නොහැකිය. තමා ඉගෙනගත් දේවල් මතකයට නඟා ගැනීමට ඔහුට අපහසුය. කාලයක් පුරා රෝහල තුළ රැඳී සිටීම හේතුවෙන් ඔහුගේ ශරීර ස්කන්ධය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙන අතර ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නිසා ඔහු ඒ පිළිබ‌ඳව සැලකිලිමත් විය යුතුය. පසිඳුගේ විශේෂ අවශ්‍යතා සැපයීම උදෙසා ඔහුගේ නිවස තුළ ඔහු වෙනුවෙන් විශේෂ කාමරයක් සූදානම් කර තිබේ.
“වෛද්‍යවරුන්ගේ මුල්ම ඉලක්කය වූයේ ඔහුගේ ජීවිතය රැකගැනීමය. ඉන්පසුව ඔවුන් අවධානය යොමු කළේ ඔහුගේ මොළයට සිදු වී තිබෙන අනතුරු කොතරම්ද යන්නටය. ආඝාතය වැළඳීමේ අවදානමෙන් ගොඩ ඒම විශේෂිත අභියෝගයක් විය. නමුත් මේ වන තෙක් ඔහුට ලබා දුන් ප්‍රතිකාර අතරින් අප‍ගේ වැඩි කනස්සල්ලට හේතු වූයේ ඔහුගේ මොළයේ සිදු කිරීමට නියමිතව තිබූ සැත්කමය” ෂර්මිලා අදහස් දැක්වීය.

රෝහලෙන් පිට වීමට පෙර දින ඔහුට ආහාර ලබා දීමට දමා තිබූ බටය ඉවත් කළද පෝෂණ අවශ්‍යතා මත තවමත් ඔහුගේ උදරයට බටයක් වැනි දෙයක් සවි කර තිබේ.
“පොතේ පතේ වැඩවලට පමණක් නොව නෘත්‍ය කලාවට සහ ක්‍රීඩාවලට ඔහු විශිෂ්ට දස්කම් පෑවේය. ඒ නිසා දැන් ඔහු පත්ව තිබෙන තත්ත්වය දෙස බලා සිටීම අපට ඉතා අපහසුයි” කියා ෂර්මිලා පවසයි. මාස කිහිපයක් ඔහු ආඝාත තත්ත්වයකට පත් වේවිදැයි බියෙන් සිටි නිසා ඔහු නැවත නිවසට පැමිණීම අපට දැනුණේ සැමරිය යුතු විශේෂ අවස්ථාවක් ලෙස කියා ඇය පවසයි.

“අඩුම තරමින් දැන් ඔහුට ඇවිදින්න සහ කතා කරන්න පුළුවන්. අපට බලාපොරොත්තුවක් තියෙනවා.”
පසිඳුගේ ප්‍රතිකාර සඳහා ආර්ථිකමය සහය විශ්වවිද්‍යාලය මගින් ඔහුගේ පවුලට සපයා තිබෙන බව සඳහන්ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ (UGC) සභාපති සම්පත් අමරතුංග පැවසුවේ මේ පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කිරීම සඳහා බලධාරීන් තවමත් තොරතුරු රැස් කරමින් පවතින බවය. වරදකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙන ලෙස UGC ඉල්ලා සිටින බව ඔහු පැවසීය. මූලික අත්අඩංගුවට ගැනීම සිදු වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.
මිරිහාන පොලීසියේ අපරාධ සම්බන්ධ පොලිස් ඕ.අයි.සී.වරයා පැවසුවේ පසිඳුගේ අනතුරට හේතුව නවක වදය බව පැවසීමට සාක්ෂි අධිකරණය විසින් ඉල්ලා තිබෙන බවය. නමුත් වසංගත තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල වැසීමත් සමඟ මෙය ඇණහිටි බව සඳහන්ය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 6දෙනාගෙන් 5දෙනෙකු ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. තවමත් සිරගතව සිටින සැකකරුව මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනාව මත විභාග කිරීමට නියමිතය. ඒ සඳහා නියම කර ඇත්තේ සඳුදා දිනයයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ පසිඳු වෙත ටයරයක් විසි කිරීමේ වගකීම එම සැකකරු විසින් භාර ගෙන තිබෙන බවය. වසංගත කාලය තුළ විමර්ශන කටයුතු සිදු කෙරුණේ දුරකථනය හරහා පමණක් වන අතර මීළඟ සතිය ඇතුළත නැවත විමර්ශන ආරම්භ කිරීමට කණ්ඩායමක් පත් කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ සඳහන් විය.
මෙම සිදු වීම වී තිබෙන්නේ අවසර නොලත් සුහද ඇසුරකදී වන නිසා එම ඇසුර සංවිධානය කළ පුද්ගලයන්ව සෙවීමටද එම කමිටුව කටයුතු කරන බව සඳහන්ය. ඇප මත නිදහස් කරන ලද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතා තිබේ. මේ වන විට පසිඳුගේ ප්‍රතිකාර සඳහා විශ්වවිද්‍යාලය විසින් රුපියල් 350,000ක් වැය කර ඇති බව සඳහන්ය. උපාධිධාරීන්ගේ සංගමයෙන්ද රුපියල් 50,000ක් වැය කර ඇති බව වාර්තා වේ.

උපාධිධාරියෙකු විසින් පසිඳුගේ නිවසේ නිදන කාමරයට ඔහු වෙනුවෙන් විශේෂ ඇඳක් පරිත්‍යාග කරනු ලැබීය. මහාචාර්ය සුදන්ත පැවසුවේ ඔහුගේ සියලුම ගමනාගමන වියදම් විශ්වවිද්‍යාලය විසින් දරනු ලබන බවය. පසිඳුගේ සිදු වීම පිළිබඳ පැමිණිල්ලක් මානව හිමිකම් කොමිසන් සභාවටද ගොනු කර ඇති බව සඳහන්ය. ඔහුගේ සිදු වීමට අදාළ නඩුව ඇසීම ආරම්භ කර තිබෙන බව සඳහන්ය.

පසිඳුගේ වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ ඔහුට සිදු වූ අනතුර සමඟ සසඳන කල ඔහු සාධාරණ මට්ටමේ වේගවත් සුවයක් ලබා තිබෙන බවය. ඔහුගේ මොළයේ සිදු කරන ලද සැත්කම මගින් එහි තිබූ ලේ කැටියක් ඉවත් කර තිබේ. ඔහුගේ සමබරතාව නැවත ලබාගැනීම පිළිබඳව වෛද්‍යවරුන් තවමත් සැලකිලිමත් වන අතර භෞත චිකිත්සාව මගින් ඔහු සුවයක් ලබයි කියා ඔවුන් බලාපොරොත්තු වේ.

“පසිඳුව ආදරයෙන් රැකබලාගත් ඔහුගේ වෛද්‍යවරුන්ට සහ රෝහල් කාර්යමණ්ඩලයට අපි බොහෝ සෙයින් ස්තුතිවන්ත වන්නෙමු. ඔහුව රැකබලාගන්නා අතරතුර ඔහුගේ මානසික සෞඛ්‍ය පවත්වාගැනීම පිළිබඳවද ඔවුන් සැලකිලිමත් වූ අතර එය අපේ මුළු පවුලටව විශාල ශක්තියක් විය” කියා ෂර්මිලා පවසයි. පසිඳුගේ සහෝදරයා සහ සහෝදරිය දැනට ඔහුව රැකබලාගනිති. නිවසේ රැඳී සිට පසිඳුව රැකබලාගැනීම සඳහා අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ රැකියාවේ නිරත වන ඔහුගේ සොහොයුරා නිවාඩුද ලබාගෙන ඇති බව සඳහන්ය.
“පසිඳුගේ සම්පූර්ණ සුවය සඳහා තව බොහෝ දේ ඉදිරියට තිබෙනවා” කියා ෂර්මිලා පවසයි. “නමුත් අපට ඔහුගේ සුවය පිළිබඳ බලාපොරොත්තුවක් තිබෙන අතර අප බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ ජීවිතය මෙලෙස රැකීම පුදුමයක් බවට වෛද්‍යවරු පවා එකඟ විය.”

(තරුෂි වීරසිංහ ලියූ “සන්ඩේ ටයිම්ස්” ලිපිය ඇසුරිනි)

එස්.දහනායක