අනුරාධපුර නගර මධ්‍යයේ රහසිගතව පවත්වාගෙන ගිය ආහාර ද්‍රව්‍ය ගබඩාවක් වටලා වෙළද පොළට නිකුත් කිරීමට සූදානම් කරමින් තිබූ, පරිභෝජනයට නුසුදුසු දිලීර සහිත වියළි මිරිස් කිලෝ 4600ක් සමග
සැකකරුවෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.
 ලද තොරතුරක් මත, අනුරාධපුර උදය මාවතේ පවත්වා ගෙන ගිය මෙම ආහාර ගබඩාව පරික්ෂාවට ලක් කිරීමේදී, පරිභෝජනයට නුසුදුසු මෙම වියළි මිරිස් තොගය සිය භාරයට ගත් බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී පිරිසක්, එම මිරිස් තොගය සෝදා වේලීම් කටයුතුවල නිරතව සිටි බවද සෞඛ්‍ය  අංශය පවසයි.
මෙම ගබඩාවෙන් පිටත විශාල ලුනු තොගයක්ද , ඉවත දමා තිබූ අතර,
එම ලුනු තොග ද මීට පෙර වෙළද පොළට නිකුත් කළේද යන්න පිළිබඳ අනාවරණය කර ගැනීම සදහා සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් පරික්ෂණ සිදු කරනු ලබයි.

අත්අඩංගුවට පත් සැකකරු මෙම පරිමාණ  ආහාර ගබඩාව කුලී පදනම මත ලබාගෙන පවත්වාගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.  අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් මත, අනුරාධපුර සොඛ්‍ය වෛද්‍ය නිලධාරි මාධව පෙරේරා, මහජන සෞඛ්‍ය  පරික්ෂකවරුන් වන නුවන් කුලතුංග, එන්.පී. කුරුනේරු, යොහාන් අබේසේකර යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර තිබිණ.

අනුරාධපුර - බී.ජී වතුරංග