ලුත්ගම - දර්ගා නගරයේ පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිලධාරීන් පිරිසක් මානසික ආබාධයකින්
පෙලෙන ළමයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් ගැන ඊයේ සීසීටීවී දර්ශන සහිතව මාධ්‍ය මගින් විකාශය කරන්නට යෙදුණ අතර අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් පැවැත්විණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ
ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවති පසුගිය
25 වනදා සවස 4.45ට පමණ පොලිස් මාර්ග බාධකයක් හරහා මුව ආවරණ නොමැතිව පාපැදියකින් ගමන්
කළ පුද්ගලයෙකු නතර කිරීමට සංඥා කර ඇති බවයි.

එය නොතකා වැලිපැන්න දෙසට ගිය ඔහු යළිත් සුළු වේලාවකට පසු එම මාර්ග බාධකය හරහාම දර්ගා
නගරය දෙසට පොලිස් අණ නොතකා ගමන් කර තිබෙන බව කියැවිණි.

පසුව පොලිසිය පාපැදිය අල්ලා ඔහු නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පාපැදිය බිම වැටී ඇත.
එහිදී පාපැදිකරු ඉතා උස් හඬින් කෑ ගසමින් පැන දුවන්නට උත්සාහ කර ඇති බවත් පොලිසිය ඔහු
මෙල්ලකර ගැනීමට වෙර දැරූ බවත් වාර්තා විය.
එම අවස්ථාවේ පැමිණි වෙනත් පුද්ගලයෙකු සඳහන් කර ඇත්තේ මෙම පාපැදිකරු මානසික ආබාධයකින්
පෙළෙන අයෙක් වන අතර දර්ගා නගරයේ පදිංචිකරුවෙකු බවයි.

ළමයාගේ පියාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අවුරුදු 16ක් වූ ළමයා කළුතර නාගොඩ රෝහලේ
අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට සහ මානසික වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කර ඇත.
පොලිසිය කියාසිටියේ මාර්ග බාධකයේ සිටි නිලධාරීන් මුල් අවස්ථාවේ දී මෙම පාපැදිකරු මානසික
රෝගියෙකු බවට  හඳුනාගෙන නොමැති බවත් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති අයෙක් බවට සැක මතුවී කටයුතු කළ බවත්ය.
පොලිසිය පාපැදිකරු මෙල්ල කර ගැනීමට අවශ්‍ය බලය පාවිච්චි කිරීමක් සිදුකර ඇති අතර පහරදීමක් සිදුකර ඇතිදැයි කරුණු විමර්ශනය විය.

 අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය ඉන්ධන පිරවුම්හල අසල පොලිස් මාර්ග බාධකය අසලදී සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව රාජකාරී පැහැර හැරීමක් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසු කළුතර දිස්ත්‍රික් 1 පොලිස් අධිකාරී විසින් උප පොලිස් පරීක්ෂකවරයකුගේ, පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරී වැඩ තහනම් කර ඇත.
මෙලෙස රාජකාරී වැඩ තහනමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් සැරයන්වරයා කළුතර පොලිස් විද්‍යාලයට අනුයුක්තව රාජකාරී කරනු ලබන අතර, විශේෂ රාජකාරී පදනම මත අළුත්ගම පොලිසියට අනුයුක්තව මෙම කාල සීමාව තුල රාජකාරී නියුතුව සිට ඇත. පොලිස් කොස්තාපල්වරයා අළුත්ගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ නිලධාරියෙකි.