ලංකා කම්කරු කොන්ග්‍රසයේ (CWC) නායකත්වය දැරූ පශු සම්පත් සහ ග්‍රාමීය සංවර්ධන පිළිබඳ කැබිනට් අමාත්‍ය සෞමියමූර්ති ආරුමුගන් රාමනාදන් තොන්ඩමන් මහතා මැයි 26වන දින හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් විය. ආරුමුගම් සහ තොන්ඩා ලෙස හඳුන්වන මෙම දේශපාලන නායකයා මිය යන විට 55 හැවිරිදි වියේ පසු විය. කුඹුක්ගහවත්ත මාවතේ අංක 135 දරන ඔහුගේ නිවස තුළ ඇවිදිමින් සිටියදී ඔහු ඇද වැටී තිබෙන අතර
ඔහුට සිහිය නොතිබුණි. ඔහුව ඉක්මනින්ම තලංගම රෝහල කරා ගෙන ගියද රෝහලට ඇතුළත් කර මිනිත්තු කිහිපයකින් ඔහු මෙලොවින් සමු ගත්තේය.

තොන්ඩමන් මහතාගේ හදිසි වියෝව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කම්පනයක් විය. ඔහු කඩිනමින් රෝහල කරා පිටත් විය. ඉන්පසුව රජයේ දේශපාලන නායකයින් සහ විපක්ෂයේ පුද්ගලයන් තලංගම රෝහලේ එක් රොක් වෙන අයුරු දක්නට ලැබිණ. ඊට පැය කිහිපයකට පෙරද තමාට තොන්ඩමන් මහතාව මුණ ගැසුණු බව අගමැතිතුමා මාධ්‍යයට ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී තොන්ඩමන් මහතා ඉන්දියානු සම්භවයක් ඇති කඳුරට සිටින දෙමළ ජනතාවට අදාළ ගැටලුවක් පිළිබඳව තමා සමඟ සාකච්ඡා කළ බවද ඔහු විශාල කාලයක් පුරා රුපියල් 1000ක දිනපතා වැටුප පිළිබඳව සහ කොරෝනා වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන ගැටලු පිළිබඳව කතා කරමින් ඒවාට ඉක්මන් විසඳුම් ලබා දිය යුතු බව පැවසුවා කියා මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

තොන්ඩමන් යනු ඉන්දියානු දමිළ ජන කොට්ඨාසයට අයත් එකම කැබිනට් ඇමතිවරයාය. 2015 ජනාධිපතිවරණයේදී ඔහු මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීය.
උඩරට දමිළ ජනතාව සහ වතු කම්කරුවන් නියෝජනය කරන එකම වෙළඳ එකමුතුව සහ විශාලතම දේශපාලන පක්ෂය වන්නේ CWC හෙවත් ලංකා කම්කරු කොන්ග්‍රසයය. තොන්ඩමන් නායකත්වය දැරූ ලංකා කම්කරු කොන්ග්‍රසය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ වැදීමටද නියමිතය. තොන්ඩමන්ගේ මරණයෙන් පසුව CWC නායකත්ව ධූරය දැරීමට ගැළපෙන පුද්ගලයෙකුව සොයාගැනීමේ අවශ්‍යතාවයක් මතු විය.
CWC යනු තොන්ඩමන් පවුලේ සාමාජිකයන් විසින් නායකත්වය දැරූ සංවිධානයක්ය. තොන්ඩමන්ගේ පියා වූ සෞම්යමූර්ති තොන්ඩමන් දශක පහක් පුරා CWC බලය හෙබවීය. ඔහුගේ පුත් රාමනාදන් තොන්ඩමන් මහතා UNP ලැයිස්තුව යටතේ මධ්‍යම පළාත් මැතිවරණයෙන් ජයග්‍රහණය කර පළාත් අමාත්‍ය ධූරයට පත් වූ විට ඔහුගේ පියා විසින් ඔහුව CWCහි නායකත්වයට පත් කරන ලදි. නමුත් තම පුත් රාමනාදන් ස්වභාවයෙන් තැම්පත් පුද්ගලයෙකු බව තේරුම්ගත් සෞම්යමූර්ති තොන්ඩමන් මහතා රාමනාදන් වෙනුවට තම මුණුපුරා (රාමනාදන්ගේ පුතා) වූ ආරුමුගම්ට එම ධූරයට පත් වීමට අනුග්‍රහය ලබා දුන්නේය. එවිට තම පුතාට බලය ලබා දීම සඳහා රාමනාදන් මහතා කැමැත්තෙන්ම තම ධූරයෙන් ඉවත් විය.

1993දී මූල්‍ය සහ යොවුන් කටයුතු භාර CWC ලේකම් ලෙස ආරුමුගම් පත් වෙද්දී එවකට කලක් පුරා CWC සාමාන්‍ය ලේකම් ලෙස කටයුතු කළ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු නායක සහ රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ එම්. එස් සෙල්ලසාමි ධූරයෙන් ඉවත් විය. 1994දී ආරුමුගම් සාමාන්‍ය ලේකම් ලෙස පත් වූ අතර 1994 පාර්ලිමේන්තු මැතිවරණයට නුවර එළිය දිස්ත්‍රික්කයෙන් තරඟ කළේය. ඔහු ඡන්ද 75,000ක් ලබා ජයග්‍රහණය කළේය. 1999 තොන්ඩමන්ගේ මරණය සමඟම ආරුමුගම් තොන්ඩමන් නායකත්වයට පත් විය. ඔහු කැබිනට් අමාත්‍යවරයෙක් බවටද පත් විය. වැඩි කල් යෑමට පෙර ඇති වූ අභ්‍යන්තර ගැටලු හේතුවෙන් CWCහි පාර්ලිමේන්තු සාමාජිකයන් 8 දෙනාගෙන් 5 දෙනෙක්ම CWCන් ඉවත් වී නව පක්ෂයක් පිහිටුවාගත්හ.

ඉන්පසුවද ආරුමුගම් තොන්ඩමන් මහතා දිගටම CWC නායකත්වය හෙබවීය. කාලයෙන් කාලයට CWC තුළ යම් අභ්‍යන්තර ගැටලුද ඇති විය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේදී හැර අනෙකුත් ආණ්ඩුවලදී ඔහු දිගටම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සේවය කර තිබේ. 1994 සිට පැවැත්වූ සෑම මැතිවරණයකදීම ඔහු නුවර එළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත් විය.

කාලයක් පුරාවට CWCහි නායකත්වය හෙබවූයේ ආරුමුගම් තොන්ඩමන් මහතාය. ඔහු වර්ෂ ගණනාවක් එහි සභාපති සහ සාමාන්‍ය ලේකම් ලෙස කටයුතු කර තිබේ. නමුත් සභාපති සහ සාමාන්‍ය ලේකම් යන තනතුරු දෙකම එක් පුද්ගලයෙකු විසින් හෙබවිය නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවෙන් ලද මඟ පෙන්වීමකට අනුව 2018දී යම් වෙනස්කම් කිරීමට ආරුමුගම් තොන්ඩමන්ට සිදු විය. මේ අවස්ථාවේදී ඔහු සාමාන්‍ය ලේකම් තනතුරෙන් ඉවත් වූ නමුත් දිගටම CWCහි සභාපති තනතුරේ රැඳී සිටියේය. සාමාන්‍ය ලේකම් තනතුරට කලින් මධ්‍යම පළාත් අමාත්‍යවරියක් වූ අනූෂියා සිවරාජා පත් විය. ඇය 1965 සිට 1970 දක්වා එස්. තොන්ඩමන් සමඟ පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ වී. අන්නාමලෙයිගේ දියණිය වේ.
ආරුමුගම් තොන්ඩමන්ගේ වැඩිමල් සහෝදරියගේ පුත් වන සෙන්තිල් තොන්ඩමන් සහ ඔහුගේ එකම පුත් ජීවන් කුමාරවෙල් තොන්ඩමන්ද CWC වෙත එක් විය.
විජයලක්ෂ්මි සහ නාචියාර් නම් දියණියෝ දෙදෙනෙකුද තොන්ඩමන් යුවළට වෙති. ජීවන් එක්සත් රාජධානියේ නීතිය පිළිබඳ හදාරා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු CWC හි පත් කරන ලද නියෝජ්‍ය සාමාන්‍ය ලේකම් සහ යොවුන් කටයුතු පිළිබඳවද එහි ලේකම්වරයාය. පෙනෙන ආකාරයට තමාගෙන් පසුව නායකත්ව ධූරය තම පුතු විසින් හෙබවීම ආරුමුගම්ගේ කැමැත්ත විය. ආරුමුගම් මහතාගේ අභාවය බලාපොරොත්තු නොවූ එකක්විය.
CWC මූලාශ්‍ර පවසන පරිදි දශකයක දේශපාලන ජීවිතයේ අත්දැකීම් සහිත සෙන්තිල් විසින් ආරුමුගම්ගෙන් පසුව තනතුර ලබාගැනීමට උත්සාහ කරන බවත් තමා සමඟ සසඳන කල දේශපාලන දිවියේ අඩු අත්දැකීම් තිබෙන 26 හැවිරිදි ජීවන්ට විරුද්ධ වූ බවත් වාර්තා වේ.
ජීවන් තරුණයෙකු වුවද ඔහු ආරුමුගම්ගේ පුත් වන බැවින් CWC ශාඛාවේ සාමාජිකයන් විසින් ජීවන් මෙම තනතුරට පත් වීම සඳහා කැමැත්ත පළ කරන අතර එහි කාන්තා සාමාජිකයන් විසින් එම තනතුර හොබවනවාට කැමැත්ත පළ කර තිබෙන්නේ දන්ත වෛද්‍යවරියක් ලෙස සේවය කරන ආරුමුගම්ගේ දියණිය වන විජයලක්ෂ්මිය.
මීට අවුරුදු 50කට පෙර එනම් 1970, මැයි 27 දින මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ 24 හැවිරිදි තරුණයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා CWC නියෝජිතයන් වෙත පැවසුවේ ආරුමුගම් වෙනුවට ඔහුගේ පුත් ජීවන් එම තනතුරට අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දිය යුතු බවය. 
මහින්ද පැවසුවේ ඉදිරියේදී CWC නායකත්ව ධූරයට පත් වීම සඳහා සෙන්තිල්ට බලාපොරොත්තුවක් ඉතිරි කරමින් CWC නායකත්ව ගැටලුව විසඳිය හැකි බවය. CWC නියෝජිත පිරිස ප්‍රධාන වශයෙන් දේශපාලන කමිටු සාමාජිකයන්ගෙන් සමන්විත අතර ජීවන්ව අපේක්ෂකයෙකු ලෙස නිර්දේශ කිරීම මහින්දට පැවරී තිබේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති, ලේකම් ජී. එල්. පීරිස් සහ සාගර කාරියවසම් රැස්වීමේ පෙනී සිටි නිසා තම පියා වෙනුවට ජීවන් තොන්ඩමන් නුවර එළිය අපේක්ෂකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය යුතු බව නිල වශයෙන් තීරණය කරන ලදි. අපේක්ෂකයෙකු ලෙස ජීවන්ව යෝජනා කරන මෙන් CWC දේශපාලන කමිටුව මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇති බව සඳහන් මාධ්‍ය නිවේදනයක් නිකුත් විය.

කෙසේවුවද මහින්ද රාජපක්ෂ සහ CWC අතර පවතින මිත්‍රත්වය අතීතයේ සිට පැවත ආවක් නොවේ. අතීතයේදී ආරුමුගම් තොන්ඩමන් සහ මහින්ද රාජපක්ෂ අතර දේශපාලනමය ගැටීම් දක්නට ලැබීය. පළමු ගැටීම ඇති වූයේ 2005දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පළමු වරට ජනාධිපති ලෙස තේරී පත් වූ අවස්ථාවේදීය. ජනාධිපතිවරණයේදී ඔහු දමිළ සහ මුස්ලිම් පක්ෂවල සහාය පැතුවද ඔවුන් සහාය දක්වමින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන්නේ UNPහි රනිල් වික්‍රමසිංහ මහතාටය. පසුව විශේෂ අපරාධ විමර්ෂණ අංශයේ (CID) වැටලීම් දෙකකට මුහුණ දීමටද CWCට සිදු විය.

තවත් අවස්ථාවකදී තොන්ඩමන් LTTE සමඟ හිතවාදිකමක් දක්වන බව චෝදනා එල්ල වීමද ඔහු හා මහින්ද අතර හිත නොහොඳකම් ඇති වීමට මඟ පෑදීය. තවත් අවස්ථාවකදී සිවලිංගම් විසින් “මහින්ද චින්තන” විවේචනය කළ බවද රජයට දිය යුතු ගෞරවය ඔහු නොදුන් බවද බැසිල් රාජපක්ෂට ලැබුණු තොරතුරක් නිසා බැසිල් රාජපක්ෂ කේන්ති ගත් අතර සිවලිංගම්ට බැණ වැදී තිබිණ. මෙම ගැටලුවේදී සිවලිංගම් වෙනුවෙන් ආරුමුගම් ඉදිරිපත් වීමෙන් පසුව තොන්ඩමන් සහ රාජපක්ෂ අතර වචන හුවමාරුවක් සිදු විය. මෙවැනි හේතුන් මත ඇතැම් ගැටලු ඉදිරියට ඇදුණි.

මෙලෙස අවුරුදු ගණනාවකට පෙර මහින්ද රාජපක්ෂ සහ CWC නායක අතර දේශපාලනමය මතගැටුම් ඇති විය. නමුත් දැන් ඒ සියල්ල වෙනස් වී ඇති අතර ආරුමුගම්ගේ මරණයෙන් පසුව දැන් CWC විසින් මහින්දගේ මඟ පෙන්වීම් පතයි. ඉදිරි දිනවලදී CWC - රාජපක්ෂ ග්‍රහණය ශක්තිමත් වේ යැයි බලාපොරොත්තුවක් පවතී.

(ඩී. බී. එස් ජෙයරාජ් විසින් Sunday Times වෙත පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්.දහනායක
[June02, 2020 - Gossiplankanews.com]