කොළඹ රාජකාරියට යෑම සඳහා අම්බලන්ගොඩ දුම්රිය පොළට පැමිණ සිටි මගී පිරිසකට අබලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ඊයේ (26 වැනිදා) උදැසන 6.22ට ධාවනය වූ දුම්රියෙන් ගමන් කිරිමට නොහැකි වූවා යැයි කියමින් දුම්රිය මාර්ගයට බැස ඔවුහු ඊයේ (26) විරෝධතාවක නිරත වූහ.
බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය  වීමට තිබූ ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (26)  අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නොනවත්වා යෑමට තීරණය කර තිබූ හෙයින් කොළඹට යෑමට දුම්රීයක් නොමැති නිසා මෙම විරෝධතාව පැවැත් වූ බව දුම්රිය මගීහු පැවසූහ. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට කොළඹ බලා ගමන් කිරිමට ඊයේ (26) පැමිණි මගීන්ට දුම්රියක් නොමැතිව පැය දෙකක පමණ කාලයක් අපහසුතාවකට පත්වීමට සිදුවුවද, අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරිහු
දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර සේවා ස්ථානවලට යාමට සිටි මගීන්ට බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය කළ දුම්රියෙන් ගමන් කිරිමට අවස්ථාව ලබා දීමට කටයුතු කළහ.

දුම්රියෙන් ගමන් කිරිමට පැමිණ සිටි මගීන්ට ඊයේ (26) උදෑසන 6.22 ට ධාවනය වූ දුම්රියට ඇතුළුවීමට අවසර නොලැබීම නිසා පිරිසක් නැවත නිවෙස් බලා ගොස් සිටි
අතර තවත් මගීන් 150ක් පමණ සේවයට යා යුතු බව පවසමින් දුම්රිය මාර්ගයට බැස විරෝධතාවක නිරත වූහ.
අම්බලන්ගොඩ පොලිසිය ද මෙම ස්ථානයට පැමිණ සිටියේය. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපති රංජිත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරින්ගේ මැදිහත් වීමෙන්  දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාව කර බෙලිඅතේ සිට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට 8.10ට පැමිණි  දුම්රියෙන් මගීන්ට කොළඹ බලා යාමට අවස්ථාව ලබා දී  තිබුණි.
 උදෑසන 6.10ට දුම්රියෙන් කොළඹ බලා ගමන් කිරිමට පැමිණි මගීන්ට පැය දෙකක් පමණ කාලයක් ගමන් කිරීමට දුම්රියක් නොමැතිවීම හේතූවෙන් අපහසුතාවට පත්වීම නිසා ඔවුහු දුම්රිය ස්ථානය ඉදිරිපිට දුම්රිය මාරිගයට පැමිණි විරෝධතාවක නිරත වූහ.
 සේවය සඳහා කොළඹ බලා ගමන් කිරිමට පැමිණි විරෝධතාවයේ නියැළි සිටි පිරිසට මේ බව දැනුම් දීමෙන් පසු මගීහු පිරිස විරෝධතාවය අවසන් කර දෙපාර්තමේන්තුවට හා නිලධාරින්ට ස්තූතිය පුදකර කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගමන් කළහ.

(බටපොල දීපාල් ද සිල්වා)