නව කොරෝනා වෛරසය ආසාදිතයන් යම් පහත වැටීමේ ප්‍රවණතාවක් ස්වාභාවිකවම සිදු නොවූ බවත්, එබැවින් සෑම රටක්ම උදාසීන නොවී කටයුතු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.

ලෝකය දැන් සිටින්නේ ගෝලීය වශයෙන් කොරෝනා වෛරසයේ පළමු රැල්ල මැද බව පෙන්වා දෙමින්, පෙරේදා (25දා) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය මයික් රයන් මෙම අදහස් පළ කළේය.

"අප දැන් ඉන්නේ ගෝලීය වශයෙන් පළමු රැල්ල මැද. අප තවමත් සිටින්නේ රෝගය සැබවින්ම වර්ධනය වෙමින් පවතින අවධියකයි."

"මේ නිසා ඕනෑම වේලාවක රෝගය ඉහළ යා හැකි බව අප දැන සිටිය යුතුයි. රෝගය දැන් පහව යමින් පවතිනවා යැයි හෝ, දෙවැනි රැල්ලකට සූදානම් වීමට මාස ගණනාවක් ගත වනු ඇතැයි කියාවත් අපට උපකල්පනය කළ නොහැකියි. අපට මේ ආකාරයෙන් දෙවැනි උච්චතම අවස්ථාවකට වුවද මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්." වෛද්‍ය රයන් අවධාරණය කළේය. විශේෂයෙන්ම සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා සමයේදී දෙවැනි උච්චතම අවස්ථාවක් හෝ  රැල්ලක් පැමිණිය හැකි බවට රයන් අනතුරු  ඇගවූ අතර, එය රෝග පාලනය සඳහා වූ ක්‍රියාදාමය බෙහෙවින් සංකීර්ණ කරනු ඇති බවද ඔහු කියා සිටියේය.

"මේ රෝගය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා තිබෙනවා. ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් දැන් මගේ කනස්සල්ල පවතින්නේ, වර්තමාන ආසාදන පහත වැටීම ස්වාභාවික සෘතුමය බවක් නියෝජනය කරන බවට මිනිසුන් උපකල්පනය කිරීමයි. එය භයානක උපකල්පනයක් යැයි මා විශ්වාස කරනවා."

"එසේ පහත වැටීමේ ප්‍රවණතාව ස්වභාවිකවම සිදු වූ බව මිනිසුන් උපකල්පනය කළත්, සැබෑම යථාර්ථය නම්, එය සිදුව ඇත්තේ ලෝකය පුරා ජනතාව කෙරෙහි දැඩිලෙස බලපා ඇති ඉතා දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නිසයි." යනුවෙන් ලෝකයේ රටවල ආසාදිතයන් වාර්තා වීමේ වේගය තරමක් පහළ යැමේ ප්‍රවණතාව ගැන වෛද්‍ය රයන් සිය මතය ඉදිරිපත් කළේය.

ඒ අනුව මේ අවස්ථාවේදී වෛරසය සම්බන්ධයෙන් වූ උන්නදුව අත්හැර, මීළඟ සැබෑ අන්තරාය පැමිණෙන්නේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල යැයි උපකල්පනය කිරීම වඩාත් භයානක තත්වයක් බවද විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් දැඩිව අනතුරු අඟවා සිටියේය.