කොරෝනා වසංගතය මධ්‍යයේ පනවනු ලැබූ නීති රීති යටතේ පසුගිය සති අග වනතුරු දුම්රිය ධාවනය සිදුවූයේ පෙර ඊමේල් හරහා වෙන්කරන ලද මගීන්ගේ ලැයිස්තු සලකා බැලීමෙනි. නමුත් මේ සතියේදී එය කාර්යාල හැඳුනුම් පත රැගෙන එන ඕනෑම මගියෙකුට ලෙස වෙනස් කෙරිණි.
මෙම ඩිජිටල් ක්‍රමවේදය දුම්රිය මගීන්ට කෙතරම් ගෝචර වුණිද යන්න ගැටලුකාරීය. පෙර නොවූ විරූ මෙම නව ක්‍රමවේදයට මගීන් දක්වා තිබෙන ප්‍රතිචාර විවිධාකාරය.
මැයි 11 දින සීමිත කාර්යමණ්ඩලයක් සහිතව නැවත වැඩ ඇරඹීම සඳහා
රජය විසින් අගුළු දැමීමේ රෙගුලාසි ලිහිල් කිරීමට පියවර ගන්නා ලදි. මේ සමඟම දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ඔන්ලයින් ලියාපදිංචි වන ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. එහි ලියාපදිංචි වූ පසුව දුම්රිය වෙන් කර තිබෙන බව සහතික කරමින් ආසන අංක සහ අදාළ වෙනත් තොරතුරුද ඇතුළත් SMS පණිවුඩයක් එම පුද්ගලයන්ට ලැබිණි. මෙම SMS පණිවුඩය දුම්රිය ස්ථානයට පෙන්වූ පසුව දුම්රිය පැමිණෙන තෙක් රැඳී සිටිය යුත්තේ පදික වේදිකාවේ කොතැනද යන්න සඳහන් වන ටෝකනයක් ඔවුන්ට ලබා දෙනු ලබයි.

මගීන්ට නිවැරදි ස්ථානය හඳුනාගැනීමට උපකාරවත් වන පරිදි මෙම ටෝකන විවිධ පැහැයන් ගනී.

මුලදී මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වූයේ වෙනත් ප්‍රදේශවල සිට කොළඹ රැකියාවට පැමිණෙන රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයන් වෙනුවෙන් පමණය. නමුත් ඇතැම් දුම්රිය ස්ථානවල ව්‍යාකූල තත්ත්වයන් ඇති වී තිබෙන බව මුල් ප්‍රතිඵලවලින් දක්නට ලැබී තිබේ. ඇතැම් මගීන් මෙම සේවාව සඳහා ලියාපදිංචි වී ඇතත් ඔවුන් ෙඑම සේවාව භාවිත කර නොතිබූ බව දුම්රිය නිලධාරීහූ පවසති.

 ඒ අත‍රේ ලියාපදිංචි නොවූ ඇතැම් පුද්ගලයන් ලියාපදිංචි වූ මගීන් ගමන් කරන දුම්රියවල ගමන් කිරීමට තමාටද අවසර ලබා දෙන මෙන් ඉල්ලමින් බලපෑම් කර තිබුණි. එමෙන්ම තොරතුර ලබාගැනීම සඳහා දුම්රිය දෙපාර්තුමේන්තුව මගින් ලබා දී ඇති දුරකතන අංකවලට ඇමතුම් ලබාගැනීම අපහසු බවද චෝදනා එල්ල විය.
නමුත් මෙම ක්‍රමවේදය පිළිබඳව තම අගය පළ කළ මගීහූද වූහ. ඔවුන් පැවසුවේ එය හොඳින් ක්‍රියාත්මක වූ බවය.‍ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුවද මෙම වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් දුම්රිය ගමනාගමන බලධාරීන්ට උනන්දු කර තිබේ.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන මුල් දිනයේදී ගමනාගමනය සඳහා පුද්ගලයන් 2900ක් ලියාපදිංචි වී තිබුණද පැමිණ සිටියේ 900ක් පමණය. දුම්රිය ගමනාගමන බලධාරීන් මේ හේතුවෙන් විශාල ගැටලුවකට මුහුණ පෑ අතර වෙනත් මගීන්ට ආසන ලබා දීමටද නොහැකි විය. එකතුව වශයෙන් හිස් ආසන 1000ක් පමණ සහිතව ඔවුන්ට දුම්රිය ධාවනය කිරීමට සිදු විය.
නමුත් සිකුරාදා දින වන විට මෙම තත්ත්වයේ දියුණුවක් දක්නට ලැබුණු අතර හෙට සිට ගමනාගමනය සඳහා 11,000කට වැඩි මගී ජනගහනයක් ලියාපදිංචි වී තිබේ.

මාතර දුම්රිය ස්ථානාධිපති ගයාන් ප්‍රියදර්ශන මහතා “සන්ඩේ ටයිම්ස්” පුවත්පතට ප්‍රකාශ කළේ කොළඹට පිටත් වීමට නියමිතව තිබූ රුහුණු කුමාරි දුම්රියේ සහ ගාල්ලට පිටත් වීමට තිබූ වෙනත් දුම්රියක ගමන් කිරීම සඳහා මගීන් 46ක් ලියාපදිංචි වී තිබුණද ගමනාගමනය සඳහා පැමිණියේ මගීන් 36ක් පමණක් වන බවය. නමුත් සාමාන්‍ය දිනවලදී මෙම දුම්රිය ස්ථානයේ සිට එම දුම්රියවල මගීන් 200ක් පමණ ගමන් කරන බව ඔහු ප්‍රකාශ කර තිබුණි.
ඇතැම් මගීන් ප්‍රමාද වී පැමිණීම සහ ඉන්පසුව ලියාපදිංචි වීමේ ක්‍රියාවලියට කාලය ගත වීම හේතුවෙන් ඔවුන්ට දුම්රියට ගොඩවීමට නොහැකි විය. “අප ඔවුන්ගේ නම්, ජාතික හැඳුනුම්පත් අංක, ඔවුන්ගේ රැකියා ස්ථානය, එම රැකියා ස්ථානවල හඳුනාගැනීමේ අංක සහ ඒවායේ දුරකතන අංක ඇතුළත් කරගත යුතු නිසා එම ක්‍රියාවලියට කල් ගතවන බව ඔහු පවසා තිබුණි.

රාජ්‍ය අංශයේ සේවය කරන 50 හැවිරිදි ආර්. ඒ. හේමසීලි පැවසුවේ ඇය ගාල්ල දක්වා ගමන් කිරීම සඳහා ලියාපදිංචි වුවද එය ස්ථිර කරමින් ඇයට SMS පණිවුඩයක් නොලැබුණු බවය. “මගේ රැකියා ස්ථානයේ නිලධාරියෙක් මගේ තොරතුරු සටහන් කරගෙන මාව දුම්රියේ ගමන් කිරීමට ලියාපදිංචි කරන බව පැවසුවත් මට SMS පණිවිඩියක් ලැබුණේ නැහැ.” රැකියාවට වාර්තා නොකළොත් වැටුප් කප්පාදු කරන බව අසන්නට ලැබුණු නිසා දැන් ඇයට බස් රථයක් මගින් හෝ රැකියාවට යෑමට සිදු වී තිබෙන බව ඇය ප්‍රකාශ කළාය.

මෙම කාන්තාව ගමන් අරඹන්නේ කඹුරුපිටියේ සිටය. ඇය අදහස් දැක්වූයේ මෙසේය. “මාතර නගරයට ගමන් කිරීමට බස් රථයක් සොයාගැනීම ලෙහෙසි කාර්යයක් නොවේ. ආපසු නිවසට පැමිණීමට මට බස් රථයක් හෝ දුම්රියක් තිබේවිද කියා නිශ්චිත නැත. මට ඇත්තටම ඒ ගැන භයයි. බස් තිබුණේ නැත්නම් මට ආපසු නිවසට පැමිණීමට සිදු වන්නේ පයින්.”
පෞද්ගලික අංශ සේවකයෙක් වන 56 හැවිරිදි දයානන්ද කාරියවසම් පැවසුවේ ඔහු විසින් ගමන් කිරීම සඳහා රුහුණු කුමාරි දුම්රිය වෙන් කරවාගෙන තිබුණද මාතර දුම්රිය ස්ථානයට පැමිණි පසු ඔහුට දැනගන්නට ලැබුණේ ඔහුව කෙටි දුර දුම්රියකට මාරු කර ඇති බව කියාය. දුම්රිය ස්ථානයේ නිලධාරීන් ඔහුට උපකාර නොකළ බවද බැද්දේගම පිහිටි ඔහුගේ කාර්යාලයට ළඟා වීමට බස් රථයක ගමන් කිරීමට සිදු වූ බවද ඔහු පැවසීය. “සිද්ධ වෙන්නේ කුමක්ද යන්න හරියටම පැහැදිලි නැහැ. දුම්රිය ස්ථානාධිපති කියන්නේ එක දෙයක්, ගාඩ් කියන්නේ තව දෙයක්. මම ආසන වෙන් කළා කියා තහවුරු කරමින් මට SMS පණිවුඩයක්වත් ලැබුණේ නැහැ. පෙනෙන විදිහට මෙම සැලැස්ම එතරම් ඵලදායී නැහැ” කියා ඔහු තවදුරටත් අදහස් දැක්වීය.

නිසි ක්‍රමවේදය පැහැදිලි කරමින් දුම්රිය සාමාන්‍යධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ලියාපදිංචි වීමට අවශ්‍ය පුද්ගලයින් දුම්රිය ගමනාගමන වෙබ් පිටුවට ගොස් අයැදුම්පතක් බාගත කරගෙන, එය මුද්‍රණය කරගත යුතු බවත් ඉන්පසුව එය පුරවා එහි ස්කෑන් කරන ලද පිටපතක් දෙපාර්තුමේන්තුවට ඊමේල් කළ යුතු බවත්ය.
ඉන්පසු දෙපාර්තුමේන්තුව විසින් ගිණුමක් අරඹා එයට අදාළ රහස් කේතය (password) SMS පණිවුඩයක් මගින් අයැදුම්කරුට යවනු ලබන බව සාමාන්‍යධිකාරිවරයා පැවසීය. නමුත් එම SMS පණිවුඩය යවන්නේ එම අයැදුම්කරු සේවය කරන රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනය මගින් දුම්රිය දෙපාර්තුමේන්තුවට යවන ලද සේවය අවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඔහුගේ නම සඳහන් වෙනවා නම් පමණක් බව ප්‍රනාන්දු මහතා පැහැදිලි කළේය.

“තමා ලද SMS පණිවිඩය දුම්රිය ස්ථානයේ කවුන්ටරයේ සිටින නිලධාරීන්ට පෙන්වා තමාගේ ටෝකනය ලබාගැනීමට ලියාපදිංචි කරන ලද අයැදුම්කරුවන්ට හැකිය. ඔන්ලයින් මාධ්‍යයෙන් ආසන වෙන් කර තිබෙනවා නම් පෝළිම්වල රැඳී සිටීමෙන් තොරව ඔවුන්ට තම ටෝකනය ලබාගත හැකිය” කියා ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම ක්‍රමය මේ වනවිට වෙනස් කර තිබෙන අතර කාර්යාල හැඳුනුම්පත රැගෙන එන ඕනෑම මගියෙකු තහවුරු කිරීමෙන් පසු දුම්රියට ඇතුළු කරගැනීම දැන්  සිදුවේ.

(Sunday Times පුවත්පත ඇසුරිනි)
එස්. දහනායක
[May22, 2020 - Gossiplankanews.com]