ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද (11) මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වූයේය.  මියයන විට 71 වන වියේ පසුවිය.1970 දශකයේ  'සිනමාවේ පෙම්වතා' ලෙස රසික සිත් දිනා ගත් තිස්ස එකල ලංකාවේ ජනප්‍රිය නළුවෙකි.
ඔහු උපත ලැබුවේ 1949 අප්‍රේල් 3 වැනිදාය. පියා ඉංජිනේරුවෙකි.ඔහු අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේය.
උසස් පෙළ ඉහළින් සමත්ව වෛද්‍යවරයෙකු වීමට සුදුසුකම් ලබා ඇති නමුත්

එය අතහැර නළුවෙකු බවට පත්වූ අයුරු ඔහු කියා තිබේ.
ඔහු විවාහ වී ඇත්තේ කලින් විශාඛා විද්‍යාලයේ සේවය කළ විශ්‍රාමික ගුරුවරියක් වන සාවිත්‍රි විජේසුරේන්ද්‍ර සමඟ ය. මෙම යුවළට දියණියන් තිදෙනෙකි. ඔවුන්ගේ එක් දියණියක වන සුරනි රූපවාහිනී කතා මාලා කිහිපයකට සම්බන්ධ වී ඇති අතර රූපවාහිනී සත්කාරකවරියක් ලෙස සේවය කර ඇති වෘත්තියෙන් වෛද්‍යවරියකි.

පාසැල් කාලයේදී තිස්ස බම්බලපිටියේ මාමා කෙනෙකුගේ නිවසේ නැවතී නාලන්දයට අධ්‍යාපනය සඳහා ගිය අතර මාමා සිලෝන් තියටර්ස් හි සේවය කළ අයෙකි. මාමාගේ උදව්වෙන් තිස්ස කුඩා කාලයේදීම චිත්‍රපටයකට තෝරා ගන්නා ලදී. ඔහුගේ මංගල සිනමා දර්ශනය වූයේ 1971 දී කිංස්ලි රාජපක්ෂ විසින් අධ්‍යක්ෂණය කරන ලද කලන මිතුරෝ චිත්‍රපටයයි. එය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වන දොස්ති චිත්‍රපටය ඇසුරින් තැනූවකි. කෙසේ වෙතත් ඔහුගේ පළමු තිරගත චිත්‍රපටය 1970 දී රංජිත් ලාල් විසින් අධ්‍යක්ෂණය කරන ලද නිම් වලල්ල ය.
සිනමා නිර්මාණ 56 කට පමණ ඔහු දායක විය.

ඔහු රඟපෑ චිත්‍රපටවලින් පළමු බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේ මාලිනී ෆොන්සේකා සමග රඟපෑ සුහද පැතුමයි.

එතැන් පටන් තිස්ස-මලනි යුගය හැත්තෑ ගණන්වල පෙරළියක් ඇති කළේය.  ගීතා කුමාරසිංහ, නීටා ප්‍රනාන්දු, ජෙනිටා සමරවීර වැනි සිනමා නිළියන්ට පෙම්වතා ලෙස ඔහු රඟපෑවේය. සිනමාවේ ඔහුගේ හොඳම සමකාලීනයන් වූයේ විජය කුමාරනතුංග, ගාමිනි ෆොන්සේකා සහ ටෝනි රණසිංහ ය. මංගල චිත්‍රපටයේ සිට ඔහු රඟපෑ සියලුම චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපාන එකම ශ්‍රී ලාංකික නළුවා ඔහු විය.

1983 දී ඔහු රඟපෑ සෙනෙහසක කඳුලු චිත්‍රපටයේ ඔහුට සම්මානය නොලැබුණු පසු කලකිරී තාවකාලිකව සිනමාවෙන් ඉවත්ව සිටියේය. පසුව ටෙලි නාට්‍ය රංගනයටද ඔහු පිවිසියේය.

ඔහු පන්නිපිටියේ වාසය කළේය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.