ත්‍රිරෝද රථ සහ කුලී රථ යොදාගෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසීය.
කරන ලද විමසීමකදී පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ සෑම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයකුටම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයන් නොමැති බැවින් ත්‍රිරෝද රථ හෝ කුලී රථ භාවිත කිරීමට ඔවුනට අවස්ථාව ලබාදී ඇති බවයි.


‘‘කොහොම වුණත් ත්‍රිරෝද රථ සහ කුලී රථ කැඳවා ගැනීමේදී ඔවුන් පාවිච්චි කළ යුත්​තේ පෞද්ගලික සබඳතා. ඒ කියන්නේ දුරකථන ඇමතුමකින් ත්‍රිරෝද රථයක් හෝ කුලී රථයක් ගෙදරට ගෙන්වාගෙන කාර්යාලවලට යන්න පුළුවන්. එහෙම නැතුව ත්‍රීවීල් පාර්ක් එකකින් වාහනයක් අරගෙන යන්න බැහැ.’’

කෙසේ වෙතත් රැකියා ස්ථාන වෙත ඇරලවා ආපසු පැමිණෙන ත්‍රිරෝද රථ හෝ කුලී රථ රියැදුරන් පොලිසිය විසින් රඳවා ගැනීම් හෝ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව කරන ලද විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.

‘‘ආපසු එන රියැදුරන්ට තමන් ගියේ කොහෙටද කියලා ඇරලවූ පුද්ගලයාට දුරකථන ඇමැතුමක් අරගෙන පොලිසියට තහවුරු කරලා දෙන්න පුළුවන් ඔහුගේ ස්ථානය පිළිබඳව තහවුරු කර ගැනීමකින් තොරව අත්අඩංගුවට ගැනීම් සිදුකරන්න එපා කියල අපි පොලිසිවලට උපදෙස් දීලයි තියෙන්නේ.’’

ඉහත අවසරය පැවතියද ත්‍රිරෝද රථ නැවතුම්පොළවල ත්‍රිරෝද රථ නතර කරගෙන සිට කුලී ගමන් ලබා ගැනීම හෝ ගමන් කරන අතරතුර අතරමගදී කුලීගමන් සඳහා පුද්ගලයන් ත්‍රිරෝද රථ හෝ කුලී රථවලට නංවා ගැනීම ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල තවදුරටත් තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නයන තරංග ගමගේ