ආශා බෝස්ලි සහ අනුප් ජලෝටා අගුලු දැමීමේ කාල සීමාව තුළ ජනතාව ධෛර්‍යමත් කිරීමේ අරමුණින් ගීතයක් නිර්මාණය කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් වන පුවතක් බොහෝ මාධ්‍යයන් තුළ කතා බහට ලක්වේ. ආශා බෝස්ලි  යනු ඉන්දියාවේ පමණක්

නොව ලොව පුරා රසික ජනතාවගේ ආදරය දිනාගත් ප්‍රවීණ ගායිකාවකි. ඇගේ මිහිරි කටහඬ තුළින් ලොවක් සනසාලන්නට ඇයට හැකිය. මෙම ගීතය සඳහා ඇගේ දායකත්වය ලැබීම හේතුවෙන් ඒ සඳහා නව ජීවයක් ලැබී ඇති බව බොහෝ දෙනා විශ්වාස කරයි.

නව කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට නිවෙස් තුළම සිටින්නට වී ඇති බැවින් බොහෝ දෙනෙක්ගේ මානසික මට්ටම එතරම් යහපත් මට්ටමක නැත. එබැවින් සංගීතය හරහා ජනතාව සුවපත් කිරීමට ආශා බෝස්ලි සහ අනුප් ජලෝටා විසින් මෙම උත්සහය දරා ඇත. මේ සඳහා ඔවුන් විවිධ කලාකරුවන් 210 ක් සමඟ අත්වැල් බැඳගෙන තිබේ. දුරකථන සහ වීඩියෝ සම්මන්ත්‍රණ වලදී සාමූහිකව ගැටලු විසඳීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතරතුර මෙම ගීතය සඳහා අදහස් පැමිණි බව ගායක අනුප් ජලෝටා පවසා තිබුණි. මෙම ගීතය"ජයතු ජයතු භාරතම්" නමින් හඳුන්වා දී තිබේ. ගීතය රචනා කර ඇත්තේ ශංකර් මහදේවන් වන අතර එහි වචන ලියා ඇත්තේ ප්‍රසුන් ජෝෂි විසිනි.

ආශා බෝස්ලි ජි මේ සඳහා දායක වීම පිළිබඳවද ගායක අනූප් තම සතුට ප්‍රකාශ කොට තිබේ. එමෙන්ම ඇයගේ උද්යෝගිමත් හඩ කැවීම මේ ගීතය සඳහා ලැබීම භාග්‍යයක් බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත. ගීතය සියලු දෙනාම නිවෙස් තුළ සිට ගායනා කළ ද එකමුතුකමින් යුතුව සාමූහික චිත්තවේගයන් එක් ප්‍රවාහයක් බවට ඒකාබද්ධ කරමින් මෙය සාර්ථකව සිදුකිරීම හේතුවෙන් ගීතය හරහා විශාල පෙළඹවීමක් සිදුකිරීමට ඔවුන්ට හැකි වූ බව ගායක අනූප් ඉතා සතුටින් යුතුව ප්‍රකාශ කොට තිබේ.

මෙම ගීතය ලියැවී ඇත්තේ "බලාපොරොත්තුව හා විශ්වාසය" පිළිබඳවයි. සමස්තයක් වශයෙන් වර්තමානය තුළ අපට විශ්වාසය හා බලාපොරොත්තුව කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දැක්වීමට අවශ්‍යව තිබේ. මෙවන් මොහොතක අඳුරු රාත්‍රියකට පසු පැමිණෙන හිරු උදාව කෙරෙහි සමස්තයක් වශයෙන් අප විශ්වාසය තැබිය යුතු බවත්‘ජයතු භාරතම්’ගීතය එම විශ්වාසය මැනවින් ජනතාව වෙත ලබා දෙන බවත් ගීතයේ ගායක පිරිස විශ්වාස කරයි.
රිෂ්මි ඉෂාරා