වයස අවුරුදු පහක් වූ තම පුතුට බීර පෙවූ පියකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි. නාවලපිටිය කඩියන්ලන ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු තිස් හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.



මොහු මිතුරන් හා මෙම දරුවා ද සමග මහවැලි ගඟට ගොස් මත්පැන් සාදයක් දමා එහිදී මෙම බාලවයස්කාර දරුවාට බීර පොවා ඇති බවට පොලිසිය කළ පරික්ෂණවලීන් හෙළිවී ඇත. මෙම සිද්ධිය වෙනත් අයකු ජංගම දුරකතනයකින් වීඩියෝ කර ඇති අතර, මත්පැන් පෙවීම නිසා මත් වී ඇති දරුවාට නැගිට ගැනීමට නොහැකිව ගල් තලාවක වැතිර සිටින දර්ශනද එහි ඇතුළත් ව ඇතැයි පොලිසිය කියයි.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ. රණවීර, ගම්පොළ කොට්ඨාස බාර පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, සහකාර පොලිස් අධිකාරී ඕ.පී.අමරබන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය, ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරික්ෂක ලක්ෂනී, කාන්තා කොස්තාපල් (604) දිල්රුක්ෂි, සැරයන් (45200) සුරේන්, (35781) ප්‍රියන්ත යන නිලධාරිහු මේ සම්බන්ධයෙන් පරික්ෂණ කළහ.

(ගම්පොළ සුරංග ගජනායක)