පාසල් සිසුන් සඳහා මුඛ ආවරණ අනුමත නොකරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ ​වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊයේ (20) පෙරවරුවේ පැවැති කොවිඩ්-19 පැතිරීම වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවේ දී ඇය මේ බව ප්‍රකාශ කර තිබේ. සෞඛ්‍ය ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මුඛ ආවරණ පාසල් සිසුන්ට එක දිගට පැලඳ සිටීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා සහ දිලීර රෝග ඇති විය හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දී තිබේ.

ඊට හේතු වී ඇත්තේ නියම සායනික මුඛ ආවරණ වෙනුවට විවිධ වර්ගයේ මුඛ ආවරණ වෙළෙඳපොළේ වර්තමානයේ අලෙවි වීම බවද ඇය ප්‍රකාශ කර ඇත. එම නිසා පාසලට පැමිණීමේ දී සහ යළි නිවෙස් බලා යාමේ දී හෝ අවශ්‍ය නම් පමණක් මුඛ ආවරණ පැලඳීම දෙමාපියන් සතු තීරණයක් විය යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

පාසල් ආරම්භ කිරීමෙන් පසු සිසුන් මුඛ ආවරණ පැලඳිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලද නිර්දේශවල සඳහන් විය.