අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සුළඟින් ආරක්ෂා කර ගැනීම සඳහා සුළං බාධකයක් ලෙස රන්කිහිරියා, සඳුන් සහ කොහොඹ යන ඖෂධීය පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය කටයුතු යොදා තිබේ.

මේ පිළිබඳ කළ විමසීමේදී එම කාර්යාංශය සඳහන් කර සිටියේ, ජුනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනට සමගාමීව මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන බවයි. අදාළ නායක ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම හා උපදෙස් මත සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියට අමතරව අටමස්ථානයද ආවරණය වන අයුරින් එම සිද්ධස්ථානයන්හි ඖෂධ පැළ සිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු යොදා තිබේ.

 කෙසේවුවද මෙලෙස රෝපණය කෙරෙන පැළ එම සිද්ධස්ථාන භූමියේහි වෙසෙන වඳුරන්ගෙන් ආරක්‍ෂ කර ගැනීම සඳහා විශේෂ යකඩ ආවරණ සවි කර පැළය අඩි 10ක් වර්ධනය වන තෙක් ආරක්‍ෂා කිරීමට කාර්යාංශය සැලසුම් කර ඇත.

  එසේම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරින් විසින් සෑම මාස 03කට වරක් මෙම ඖෂධීය පැළ සිටුවා ඇති ස්ථානයන් නිරික්‍ෂණය කර ඒ පිළිබඳ වූ සම්පූර්ණ වාර්තාවක් කොළඹ පිහිටි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කරනු ඇත.

මෙවර ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් දීප ව්‍යාප්තව පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ.

මෙම වැඩසටහන යටතේ බෞද්ධ, ඉස්ලාම්, කතෝලික හා හින්දු ආගමික ස්ථාන සියල්ල නියෝජනය වන අයුරින් සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ආගමික ස්ථානයකම පැළ සිටුවීමට කටයුතු යොදා ඇති අතර, මෙම වැඩසටහන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල මගින් සංවිධානය කරේ.

ඒ අනුව එක් ආගමික ස්ථානයක පැළ 05ක් සිටුවීමට සැලසුම් කර ඇති අතර, වසර 03ක පමණ කාලයක් මෙම පැළ රැක බලා ගැනීමේ පසු විපරම් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වේ.

(නිදර්ශනී වික්‍රමසිංහ)