එක්සත් ජනපදයේ මිනෙසොටා ප්‍රාන්තයේ පොලිස් අත්අඩංගුවට ලක් වූ කළු ජාතිකයෙකු මිය යෑමේ සිද්ධියක් නිසා උණුසුම් තත්ත්වයක් පැනනැගී ඇති බව BBC මාධ්‍ය වාර්තා කරයි.
මිය ගිය අවුරුදු 46ක් වයසැති ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.‍ එම වීඩියෝවේ සුදු ජාතික පොලිස් නිලධාරියෙක් ජෝජ්ගේ බෙල්ල මත දණහිස තබන අයුරුත් “මට හුස්ම ගන්න බැහැ” කියමින්
කලු ජාතික මිනිසා කෙඳිරිගාන අයුරුත් ඇතුළත් විය. මෙම සිදුවීම හේතුවෙන් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට විරෝධකරුවන් විසින් වෙඩි තබා තිබෙයි.

මෙම විරෝධය ආරම්භ වූයේ අඟහරුවාදා දිවා කාලයේදී මෙම සිදුවීමට අදාළ ස්ථානයට මිනිසුන් සිය ගණනක් එක් රැස්වීමත් සමඟය. විරෝධතාවය සාමකාමීව සහ සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් පැවැත්වීමට එහි සංවිධායකයෝ උත්සාහ කළහ. “මට හුස්ම ගන්න බැහැ” සහ “මටත් ඒ දේ වෙන්න තිබුණා” වැනි දේ සටහන් කර තිබූ පුවරු ඔවුහූ ඔසවාගෙන සිටියහ. විරෝධතාවයේ යෙදුණු ඇනීටා මුරේ විසින් වොෂිංටන් පෝස්ට් පුවත්පත වෙත අදහස් දැක්වුවේ, “මේ වගේ වසංගතයක් අතරතුර එළියට බැහැලා විරෝධතාවකට සහභාගි වෙන එක ඉතා බියකරුයි.

නමුත් මම මේකට සම්බන්ධ වෙන්නේ නැතුව ඉන්නේ කො‍හොමද” කියාය. පසුව මේ විරෝධතාවයට එක් වූ සිය ගණනක පිරිස සිද්ධියට අදාළ නිලධාරීන් රාජකාරියේ යෙදෙනවා ඇතැයි සිතූ ස්ථානයට පා ගමනේ යෙදුණි. ඔවුන් විසින් පොලිස් නිලධාරීන්ගේ වාහන මත කුරුටුබලි ස්ප්‍රේ කරන ලද අතර පොලිස් ගොඩනැඟිල්ලට ගල් ගසන ලදි. පොලීසිය විසින් ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර, අත්බෝම්බ ආදිය එල්ල කරන ලදි.
එක් විරෝධකරුවෙක් CBS  පුවත් සේවයට පැවසුවේ, “පොලීසිය කළ දේ හරිම නරකයි. මෙම ගැටලුව පොලීසිය විසින් ඇති කළ එකක් බව ඔවුන් වටහාගත යුතුයි” කියාය. විරෝධතාවය සිදු වූ ප්‍රදේශයෙන් වෙඩි තියා එළවා දැමූ පුද්ගලයෙකුට ජීවිතයට තර්ජනයක් නොවන ආකාරයේ තුවාල සිදු වී ඇති බව පොලීසිය සඳහන් කළ අතර ඒ පිළිබඳව අමතර තොරතුරු සපයා නැත.

මේ පිළිබඳව වාර්තාකරුවන් නැඟූ ප්‍රශ්නවලට නිලධාරීන් විසින් පිළිතුරු දී තිබේ. ඔවුන් පවසන්නේ, ව්‍යාජ මුදල් භාවිත කිරීමේ චෝදනාවක් මත ජෝජ් මහතාට වාහනයෙන් පිටතට පැමිණෙන ලෙස අණ කළ බවත් එවිට ඔහු නිලධාරීන්ට ශාරීරිකව විරෝධය පෑ බවත්ය. “සැකකරුව මාංචු යටතට ගන්න නිලධාරීන් සමත් වුණා. නමුත් සැකකරු යම් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පෙනෙන්න තිබුණා” කියා එක් පොලිස් ප්‍රකාශයක සඳහන් විය.

ගැටුම ආරම්භ වූ ආකාරය සමාජ මාධ්‍යයේ පළ කරන ලද වීඩියෝවේ දැක්වෙන්නේ නැත. සුදු ජාතික නිලධාරියෙක් තම දණහිස යොදාගනිමින් ජෝජ්ගේ බෙල්ලෙන් ඔහුව පොළවට තද කරගෙන සිටින අයුරු එම වීඩියෝවේ දැක්විය. “අනේ මට හුස්ම ගන්න බැහැ” සහ “මාව මරන්න එපා” කියලා ජෝජ් කෙඳිරිගාන අයුරුද අවට මෙම සිදුවීම බලා සිටි පුද්ගලයන් විසින් ඔහුව නිදහස් කරන ලෙස පොලීසියට බලපෑම් කරන අයුරුද එම වීඩියෝවේ දැක්වුණි. ඔහු චලනය වීම නතර වූ අතර ඔහුව රෝහලකට රැගෙන යෑමට ගිලන් රථයක් පැමිණ තිබේ. පසුව ඔහු රෝහලේදී මිය ගොස් තිබුණි.

මෙම සිද්ධිය හේතුවෙන් ඇති වූ විරෝධතාවය සහ පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන් දක්වා තිබෙන අදහස් මොනවාද? නගරාධිපති ෆ්‍රේ පැවසුවේ එම පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ වරදක් නැහැ කියාය. “කළු ජාතිකයෙක් වීම ඇමරිකාවේ මරණ දඬුවම ලැබිය යුතු කාරණයක් නොවෙයි” කියා ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව FBI විසින් විමර්ෂණ ආරම්භ කර තිබෙන බවත් ඒවා මිනෙසොටා ප්‍රාන්තයේ නීතිඥයන්ට ලබා දෙන බවත් වාර්තා වේ. මිනෙසොටා ප්‍රාන්තයේ සෙනෙට් සභික ඇමී ක්ලෝබුචර් සඳහන් කළේ “මෙම මිනිසාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සාධාරණය ඉටු විය යුතුයි. අපි ජීවත් වන සමාජයට සහ රටට සාධාරණය ඉටු විය යුතුයි” කියාය.

මිනෙසොටා පොලීසියේ අත් පොතේ සඳහන් වන්නේ ශ්වසන මාර්ගයට ඍජු පීඩනයක් එල්ල නොවන ලෙසින් බෙල්ල තද කිරීමට පුහුණුව ලත් නිලධාරීන්ට ඒ සඳහා දණහිසද භාවිත කළ හැකි බවය. මෙය සැලකෙන්නේ මරණයට පත් නොවන බලපෑම් එල්ල කිරීමේ ක්‍රමයක් ලෙස බවට සඳහන් වේ.
පොලිස් නිලධාරීන් අතින් අප්‍රිකානු-ඇමරිකානු කළු ජාතිකයන් ඝාතනයට ලක් වූ අවස්ථා කිහිපයක්ම වාර්තා වේ. ඒ අතරින් අවසන් වරට වාර්තා වූ මිනෙසොටාවල සිදුවීම පිළිබඳව ඇමරිකානු සිවිල් නිදහස පිළිබඳ සංගමයේ පයිජ් ෆනෑන්ඩස් මෙසේ පැවසීය. “පොලීසිය විසින් කලු ජාතිකයන්ගේ ජීවිත නැති කිරීම වැළැක්වීමට ගෙන තිබෙන්නේ මොන තරම් සීමිත ක්‍රියාමාර්ගද කියා මෙම කනගාටුදායක වීඩියෝව නැරඹීමේදී පෙනී යයි.”
(BBC ඇසුරිනි)
එස්. දහනායක
[May29, 2020 - Gossiplankanews.com]