[Trending][btop]
[News][stack]

දකුණු ආසියානු රටවල කොරෝනා මරණ අනුපාතිකය අඩුවීම ගැන පරීක්ෂණ මගින් හෙළිවූ දේ

ටහිර රටවල කොරෝනා මරණ අනුපාතය සමඟ සසඳන කල දකුණු ආසියානු රටවල අඩු සෞඛ්‍ය පහසුකම් සහ අධික ජනගහනයක් යටතේ පවා අඩු කොරෝනා මරණ අනුපාතිකයක් වාර්තා වීමට හේතුව සොයා බලමින්
මේ වනවිට විද්‍යාඥයෝ සහ මහජන සෞඛ්‍ය විශේෂඥයෝ පර්යේෂණ කිහිපයක්ම පවත්වා තිබේ.
මැයි මාසයේ මුල්භාගය වන විට වාර්තාගත සම්පූර්ණ Covid-19 මරණ සංඛ්‍යාවෙන් සියයට 90ක්ම වාර්තා වන්නේ ධනවත් රටවලින් බව The Lancet නමැති වෛද්‍ය සඟරාවේ සඳහන් විය. එම ලැයිස්තුවට චීනය, බ්‍රසීලය සහ ඉරානය ඇතුළත් කළ විට එම අගය සියයට 96 දක්වා ඉහළ යයි.
මීට වෙනස්ව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ (JHU) දත්තවලට අනුව අධික ජනගහනයක් ජීවත් වන සංවර්ධනය‍ වෙමින් පවතින රටවල් වන දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ වාර්තා වී තිබෙන කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබේ.


යුරෝපයේ කොරෝනා ආසාදනය වන පුද්ගලයන් මරණයට පත් වීමේ අනුපාතය ඉහළ අගයක් ගන්නා ලදි. JHU පවසන පරිදි ප්‍රංශයේ සියයට 15.2ක්, එක්සත් රාජධානියේ සියයට 14.4ක්, ඉතාලියේ සියයට 14ක් සහ ස්පාඤ්ඤයේ සියයට 11.9ක් ලෙස එම අගයන් වාර්තා විය. එක්සත් ජනපදයේ එම අගය සියයට 6ක්ය.
යුරෝපානු රට‍වල් සමඟ සසඳන කල දකුණු ආසියානු රටවල වාර්තා වූයේ අඩු කොරෝනා මරණ අනුපාතයක්ය. ඉන්දියාවේ සියයට 3.3ක්, පකිස්ථානයේ සියයට 2.2ක්, බංගලාදේශයේ සියයට 1.5ක් සහ ශ්‍රී ලංකාවේ සියයට එකක් වාර්තා වේ.

ලෝකයේ විවිධ ප්‍රදේශවලට කොරෝනා වසංගතය බලපා තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව විවිධාකර මත පවතියි. ඒවාට හේතු වී තිබෙන්නේ ජනගහන විකාශනය පිළිබඳ විවිධ දත්ත, සමානකම් තිබෙන වෛරසවලට නිරාවරණය වීමේ විවිධ මට්ටම් හෝ මරණ සංඛ්‍යාව පිළිබඳව අසම්පූර්ණ වාර්තාය.
මිලියන 220ක ජනගහනයකට නවාතැනක් වී තිබෙන පකිස්ථානයේ දුර්වල සෞඛ්‍ය යටිතල පහසුකම් හේතුවෙන් පුද්ගලයන් 10,000කට ලබාගත රෝහල් ඇඳන් 6ක් පමණය. එහි ප්‍රථම කොරෝනා වෛරස් අසාදිතයා පෙබරවාරි 26 වන දින වාර්තා විය. එම පුද්ගලයා ඉරානයට ගොස් පාකිස්ථානයට පැමිණි සංචාරකයෙක්ය.
එදා සිට වෛරසය පකිස්ථානය පුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙන්ය. මැයි 18 වන විට ආසාදිතයන් 42,125ක් වාර්තා වූ පකිස්ථානය වෙනත් රටවල ආසාදිතයන් සංඛ්‍යාව සමඟ සසඳන කළ 20 වෙනි ස්ථානයට පත් විය. එහි මරණ 903ක් වාර්තා වී තිබෙන අතර ලෝක මරණ වාර්තාවේ 26 වන ස්ථානයට පකිස්ථානය පත් විය. එය එක්සත් ජනපදයේ මරණයට පත් වන ආසාදිතයන් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වන අතර ඇතැම් යුරෝපියානු රටවල වාර්තා වන ආසාදිත මරණ සංඛ්‍යාවට වඩා සියයට 13කින් අඩුය.
දත්ත නිවැරදිද?
පකිස්ථානයේ සහ වෙනත් රටවල මරණ සංඛ්‍යාව පිළිබඳ දත්ත අධ්‍යයනය කරන විට සමීක්ෂකයන් විසින් නඟනු ලබන මුල්ම ප්‍රශ්නය වන්නේ එම දත්ත නිවැරදිද යන්නය.
දකුණු ආසියාවේ සංඛ්‍යා ලේඛන

  • ඉන්දියාව - ආසාදිතයන් 106886  මරණ 3303
  • පකිස්ථානය - ආසාදිතයන් 45898  මරණ 985
  • බංගලාදේශය - ආසාදිතයන් 25121   මරණ 370
  • ශ්‍රී ලංකාව - ආසාදිතයන් 1023 මරණ 9
  • නේපාලය - ආසාදිතයන් 402  මරණ 2
  • මාලදිවයින - ආසාදිතයන් 1143   මරණ 4
  • භූතානය - ආසාදිතයන් 21  මරණ 0

අප අසල්වැසි රට වන ඉන්දියාවේ මරණ සංඛ්‍යාව නිවැරදිව වාර්තා කර ඇත්දැයි ඇතැමුන් ප්‍රශ්න කරන්නේ මරණ සංඛ්‍යාවෙන් සියයට 78කටම කොරෝනා වැළඳී තිබූ බව සායනිකව තහවුරු කර නොමැති වීම හේතුවෙන්ය.
වාර්තාකරණයේ දෝෂ ඉතා අවම බව පකිස්ථානයේ කොරෝනා වෛරසය මර්දනය කිරීමට වෙහෙසෙන විශේෂඥයන් ප්‍රකාශ කළද එහි තත්ත්වයද ඉන්දියාවේ මෙන් විය හැකිය.
“Covid-19 පිළිබඳව සමාජය තුළ ඇති වී තිබෙන අනියත ලැජ්ජාව හේතුවෙන් ආසාදිතයන්ව රෝහල් කරා ගෙන ඒමට බොහෝදෙනා මැලිකමක් දක්වන” බව පකිස්ථානයේ වැඩිම ජනගහනයක් ජීවත් වන කරාචි නගරයේ පිහිටා තිබෙන විශාලතම රජයේ රෝහලේ ප්‍රධානී වෛද්‍ය සීමින් ජමාලි පවසයි.
නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවට තහවුරු කරන ලද පුද්ගලයන්ගේ මළ සිරුරු පිළිබඳව එහි රජයේ රෝහල් විසින් දැඩි නීති රීති අනුගමනය කරන අතර ඉස්ලාම් සිරිත් පරිදි ආදාහනය කිරීමට සූදානම් කිරීම සඳහා දේහය නාවන බලධාරීන් ආරක්ෂක ඇඳුමින් සැරසී සිටිනවා දක්නට හැකිය.
“අප දේහය ආරක්ෂිත බෑගයක (body bag) බහාලනවා. එය රැගෙන යෑමට දිස්ත්‍රික් නිලධාරීන් පැමිණෙනවා. මළ සිරුරු ප්‍රවාහනය කිරීමේදී වඩා හොඳ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුයි. මන්ද මෙය මිනිසුන් සිදු වෙනවාට අකමැති දෙයක්” කියා ජමාලි අදහස් දක්වයි.
“මළ සිරුරක් නාවන එක පකිස්ථානයේ මුස්ලිම්වරුන් අතර තිබෙන වැදගත් චාරිත්‍රයක්. එමනිසා ඔවුන්ගේ සහභාගීත්වය සම්පූර්ණයෙන්ම නවතා ඔබ එම මළ සිරුරු භූමිදානය කරන බව පැවසීම අපහසුයි.”
කොහොමනමුත් ජමාලි සහ අනිකුත් විශේෂඥයන් ප්‍රකාශ කර සිටින්නේ, කොරෝනා හෝ කොරෝනා නොවන මරණ වාර්තා කිරීම අඩු වීමට මෙම කාරණය බලපා තිබෙන්නේ සුළු ප්‍රමාණයකින් පමණක් බවය.
නමුත් වෛද්‍ය ෆාසිල් සුල්තාන් පැවසුවේ සියලුම කොරෝනා මරණ වාර්තා කරගැනීම සඳහා සැලැස්මක් රජය සතු බවය. “නව කොරෝනා වසංගතය සමඟ කටයුතු කිරීමට සෞඛ්‍ය පද්ධතිය සංවේදනය වී ඇති නිසා වාර්තා නොවූ විශාල කොරෝනා මරණ සංඛ්‍යාවක් සිදු වී තිබිය නොහැකිය” කියා ඔහු අල් ජසීරා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
නගරයේ සුසාන භූමි ඇසුරින් සිදු කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දෙන පරිදි පසුගිය වර්ෂය සමඟ සසඳන විට මරණ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට නොලැබෙන බව පකිස්ථානයේ විශාලතම පර්යේෂණ රෝහල වන අගා ඛාන් විශ්වවිද්‍යාල රෝහලේ වසංගත රෝග පිළිබඳ ප්‍රධානී වෛද්‍ය ෆයිසල් මහ්මූද් මහතා ප්‍රකාශ කළේය.
අල් ජසීරා මාධ්‍ය මගින් කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී තිබෙන කරාචි නගරයේ, ලාහෝරෙ නගරයේ, ඉස්ලාමාබාද් නගරයේ සහ ක්වෙටා නගරයේ ප්‍රධාන රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් අදහස් විමසීය. කොරෝනා වෛරසය හෝ වෙනත් හේතු මත රෝහල්ගත වූ වහාම මිය යන පුද්ගලයන් සංඛ්‍යාවේ  කැපී පෙනෙන වැඩි වීමක් සිදු වී තිබෙන බව ඉන් කිසිම පුද්ගලයෙකු ප්‍රකාශ කළේ නැත.
නමුත් වෛද්‍ය මහ්මූද් අනතුරු අඟවා සිටියේ, “අපේ රටේ මරණ අනුපාතිකය අඩුයි කියා සිතෙන්න පුළුවන්. නමුත් මෙහි වසංගතයේ වර්ධනය ඉතා සෙමින් සිදු වෙනවා හෝ අප තවම වසංගතයේ මුල් කාල සීමාව පසු කරනවාද විය හැකිය. අවසානයේදී අනෙකුත් රටවල් හා සමාන මරණ අනුපාතිකයක් මෙහි වාර්තා වීමටද ඉඩ තිබේ” කියාය.
තරුණ ජනගහනය
පකිස්ථානයේ වාර්තාගත කොරෝනා මරණ ප්‍රමාණය සාමාන්‍යයක් ලෙස නිවැරදි නම් අනෙකුත් රටවල් සමඟ සසඳන කල පකිස්ථානයේ අඩු මරණ සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු ලෙස ඉදිරිපත් කළ හැකි කරුණු  කිහිපයක් පවතියි.
උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ මුල් ආසාදිතයන් 100 දෙනා වාර්තා වී දින 66ක් ඇතුළත මරණ 65,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය. නමුත් පකිස්ථානයේ වාර්තා වූ මරණ 903 ඊට වඩා විශාල ලෙස අඩු ප්‍රමාණයක්ය.
මහජන සෞඛ්‍ය සමීක්ෂකයෙක් සහ වසංගත රෝග විශේෂඥයෙක් වන වෛද්‍ය අඩ්නන් ඛාන් පවසන්නේ, කොරෝනා වෛරස මරණ අනුපාතයට බලපාන කරුණු පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනවලින් සොයාගත් කරුණු තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ බවත් තවත් පුළුල් පරීක්ෂණ සිදු නොකර එම කාරණය පිළිබඳව නිශ්චිතවම පැවසිය නොහැකි බවත්ය. නමුත් දකුණු ආසියාවේ ජනගහන විද්‍යාව සහ දකුණු ආසියාතිකයන්ගේ කායික විද්‍යාව අධ්‍යයනය කරන කල එහි මෙම ගැටලුවට පිළිතුරක් තිබිය හැකිය.
COVID-19 හේතුවෙන් වැඩි ජීවිත ප්‍රමාණයක් බිලිගත් රටවල් හා සසඳන විට පකිස්ථානයේ සාපේක්ෂව තරුණ ජන විකාශනයක් සිදුව තිබීම හේතු විය හැකි බව සැලකේ. “සංවර්ධිත රටවල වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ වැඩිහිටි නිවාසවල සිටින පුද්ගලයන් අතරින්ය.”
එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන දත්තවලට අනුව එහි 33,614ක් වන කොරෝනා මරණ සංඛ්‍යාවෙන් සියයට 37ක්ම සිදු වී තිබෙන්නේ වැඩිහිටි නිවාසවලය. New York Times පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව එක්සත් ජනපදයේ සිදු වී තිබෙන කො‍රෝනා මරණ ප්‍රමාණයෙන් තුනෙන් එකක්ම වැඩිහිටි පුද්ගලයන්ය.
ඊට වෙනස්ව පකිස්ථානයේ සහ පොදුවේ දකුණු ආසියාවේ ජනගහනය සලකා බලන කල එම රටවලට වඩා තරුණ ජනගහනයක් (වයස අවුරුදු 22.5ක මධ්‍යම අගයක්) මෙම රටවල ජීවත් වේ.
“පකිස්ථානයේ කොරෝනා මරණ අනුපාතය අඩු වීමට මෙය එක් හේතුවක් විය හැකිය. මන්දයත් ජනගහන පිරමීඩයට අනුව පැහැදිලි වන්නේ එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සසඳන විට මෙම රට තුළ ජීවත් වන්නේ වැඩිහිටියන් අඩු පිරිසකි. වැඩි මරණ අවදානමක් තිබෙන්නේ වැඩිහිටි පුද්ගලයන්ට බව අපි දනිමු” කියා වෛද්‍ය මහ්මූද් අදහස් දැක්වීය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් දක්වන ප්‍රතිචාර වෙනස්
දකුණු ආසියාතික රටවල අඩු කොරෝනා මරණ අනුපාතිකයක් දක්නට ලැබීමට තවත් හේතුවක් විය හැක්කේ එහි ජනගහනය තුළ පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ස්වභාවයය.
“අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම් අයුරින් වෙනස්කම්වලට ලක් වීමට අප අවට පරිසරය බලපා තිබේද? ක්ෂය රෝගය හෝ එවැනි දීර්ඝ කාලයක් පුරා පවතින ආසාදන තත්වයන් හෝ එන්නත් නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනසක් සිදු වී තිබිය හැකිය. නමුත් පිළිතුර අපි නිශ්චිතව නොදනිමු” කියා මහ්මූද් පවසයි.

මහජන සෞඛ්‍ය සමීක්ෂක අද්නන් ඛාන් පැවසුවේ වෙනත් ආසාදනයන්ට නිරාවරණය වීම හේතුවෙන් ඔවුන් තුළ ඉහළ ප්‍රතිශක්තිකරණයක් තිබිය හැකි බවය. නමුත් ඉහළ ප්‍රතිශක්තිකරණයක් ඇති වීමට එන්නත් භාවිතයේ සම්බන්ධයක් තිබේද යන්න වැඩිදුර පර්යේෂණ මගින් සොයා බැලිය යුතු බව ඔහු පවසයි.
පකිස්ථානයේ උපත ලබන කුඩා දරුවන්ට මාස 18 ලබන විට ඔවුන්ට විවිධ රෝග නවයකට අදාළ ප්‍රතිශක්තිකරණය වඩවන එන්නත් වට කිහිපයක් ලබා දී තිබේ. මෙය හේතුවක් විය හැකි නමුත් නිගමනයකට එළඹීමේදී ප්‍රවේශම් විය යුතු බව වෛද්‍ය සුල්තාන් පවසයි. ඔහු එසේ පැවසුවේ BCG එන්නත ලැබී තිබීම එම පුද්ගලයන්ට Covid-19 වැළඳීම වැළකීමට විශාල වශයෙන් දායක වන බව විශ්වාස කිරීමට බොහෝදෙනා ඉක්මන් වී තිබෙන බැවින්ය.
“අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ස්වභාවය අනුව විවිධ රෝගකාරකයන්ට අප නිරාවරණය වීම වැනි දෑ වෙනස් වන අයුරු පුද්ගලයන්ගේ කතාබහට ලක් වී තිබේ. මෙම සියලු මතවාදයන්ගේ සත්‍යතාවයක් තිබිය හැකි නමුත් ඒවා තරයේ ඔප්පු කිරීමට කිසිවෙකු සමත් වී නැත” කියා සුල්තාන් මහතා ප්‍රකාශ කරයි.
දකුණු ආසියානු රටවලට ආවේණික පාරිසරික තත්වයන්ට එම රටවල කොරෝනා ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය අතර අනුපාතය අඩු වීමට දායක විය හැකි බව ඔහු තවදුරටත් පවසයි. ඔහුගේ අදහස අනුව වැඩි උෂ්ණත්වයක් සහ වැඩි පාරජම්බුල කිරණ අගයක් හා බැඳුණු හිරු එළිය දක්නට ලැබෙන ප්‍රදේශවල මේ වන තෙක් වාර්තා වී තිබෙන්නේ අඩු මරණ අනුපාතයක්ය.‍
දකුණු ආසියාතිකයන්ට බලපාන කො‍රෝනා වෛරස ප්‍රභේදය යුරෝපියානු රටවලට සහ වෙනත් රටවලට බලපාන ප්‍රභේදය නොවීම නිසා දකුණු ආසියාවට වඩා එම රටවල වාර්තා වන මරණ අනුපාතය වැඩි බවට වූ මතය, දැනට පවතින දත්ත සලකා බලන සමීක්ෂකයන් විසින් එතරම් ගණනකට නොගනියි.
හේතුව කුමක් වුවත් අල් ජසීරා මාධ්‍ය වෙත අදහස් දැක්වූ සියලුම සමීක්ෂකයන් කියා සිටියේ ඇතැම් රටවල අඩු මරණ අනුපාතිකයක් දක්නට ලැබීමට හේතු නිශ්චිතවම පැවසීම දැනට අපහසු බවය.
“මං පැහැදිලිවම කියන්නේ, අඩු මරණ අනුපාතිකයක් වාර්තා වීමට හේතුව අප තවමත් ස්ථිරවම නොදන්නා බවය” කියා වෛද්‍ය සුල්තාන් මහතා පැවසීය.
පුළුල් ව්‍යාප්තියක්, නමුත් අඩු මරණ අනුපාතිකයක්
සංවර්ධනය වෙමින් පවතින වෙනත් බොහෝ රටවල මෙන්ම පකිස්ථානය තුළද දිනකට සිදු කළ හැක්කේ PCR පරීක්ෂණ සීමිත ප්‍රමාණයක් පමණය. රජයේ දත්ත අනුව වසංගතය ව්‍යාප්ත වීමට ආරම්භ වීමෙන් පසුව මේ වන තෙක් පකිස්ථානයේ කොරෝනා පරීක්ෂණ 387,385ක් සිදු කර තිබේ. මෙම පරීක්ෂණ වැඩි වශයෙන් සිදු කර තිබෙන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයන්ටය.

නමුත් රෝග ලක්ෂණ රහිතව කොරෝනා වාහකයන් ලෙස කටයුතු කරන පුද්ගලයන් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි පිරිසක් සිටින බව සමීක්ෂණවලින් හෙළි විය. කර්මාන්තශාලා සහ කාර්යාල සේවකයන්ට සිදු කරන ලද PCR පරීක්ෂණවලින් පැහැදිලි වූයේ ඔවුන් අතරින් සියයට 7ත් 8ත් අතර ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවය. “මෙසේ වෛරසය වැළඳී ඇති බව අනාවරණය වූ පුද්ගලයන් රෝහලකට ගිය තැනැත්තන්, අසනීප වූ පුද්ගලයන් හෝ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කළ පුද්ගලයන් නොවේ” කියා වෛද්‍ය වජීහා ජාවෙඩ් පවසයි.

“පකිස්ථානයේ කොරෝනා වෛරසය නිසා ඇති වන රෝගී තත්ත්වය වෙනස්. සුළු රෝග ලක්ෂණ හෝ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් මෙහි සිටිනවා. ඉන් අදහස් වන්නේ බරපතළ ලෙස හෝ සාධාරණ මට්ටමකට අපව රෝගී වීම වළක්වන ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් අප තුළ තිබෙන බව විය හැකිය” කියා අදහස් දැක්වූ ඇය අවධාරණය කර සිටියේ බරපතළ රෝග ලක්ෂණ පෙන්වන රෝගීන්ට වෙනත් රටවල සිටින ආසාදිතයන්ට තිබෙනවා හා සමාන ජීවිත අවදානමක් තිබෙන බවය.
“මින් අදහස් කරන්නේ අප ආසාදනය නොවන බව හා අප වෙනත් පුද්ගලයන්ව ආසාදනය කිරීමට දායක නොවන බව නොවේ.”

(අෂාඩ් හසීම් විසින් Al Jazeera වෙත පළ කළ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක
[May20, 2020 - Gossiplankanews.com]