COVID 19 වසංගතය තුළ අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා බොහෝ රටවල් අත්‍යවශ්‍ය වෙළඳපොළවල් පවත්වාගෙන යාමට අවසර දී ඇත. නමුත් මෙසේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන සිල්ලර වෙළෙඳ සැල්වල සමාජ දුරස්ථභාවය අනිවාර්යයෙන්ම පවත්වා ගත යුතුය. මෙසේ අත්‍යවශ්‍ය සිල්ලර
වෙළෙන්දන්ට සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමේදී නීති ක්‍රියාත්මක කිරීමට උපකාර කිරීමේ අරමුණින් ස්මාර්ට් ඩොම් (SmartDome) නමින් අනතුරු ඇඟවීම් සහිත පණිවිඩ සැපයීමේ ක්‍රමවේදයක් සොයාගෙන ඇත. මෙම ක්‍රමවේදය හරහා අනිවාර්ය භාණ්ඩ සපයන වෙළඳසැල් හිමිකරුවන්ට සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම අතිශය පහසු වී තිබේ. ඇමරිකා එක්සත් ජනපදය විසින් සොයා ගනු ලැබූ මෙම නව නිපැයුම COVID 19 වසංගතය හේතුවෙන් පවත්වාගත යුතු සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට අතිශයින් උපකාරී වේ.


CDCහි නිල අනතුරු ඇඟවීම් තුළින් වර්තමානයේ COVID 19 වෛරසය මීටර් දෙකක් පමණ දුරින් වෙසෙන පුද්ගලයන් අතර පවා පැතිර යා හැකි බව පෙන්වා දී ඇත. එබැවින් එකිනෙකා අතර මීටර් 2 ක් පමණ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සඳහා මෙම නව ක්‍රමවේදය අතිශය උපකාරී වන බවද ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරයි. වෛරසය හේතුවෙන් බොහෝ වෙළඳ සැල් තුළ භාණ්ඩ හිඟයක් දැකගත හැකි බැවින් ජනතාව පොරබදිමින් භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹී සිටීම මෙම වෛරසය තවත් පැතිරීමට හේතුවන ප්‍රබල කරුණක් ලෙස දැක්විය හැක. ඒ හේතුවෙන් මෙම නව SmartDome තාක්ෂණය වෙළෙඳසල් තුළට හඳුන්වාදීම හරහා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමට එය සෘජුව දායක වන බව පැහැදිලිය.

ස්මාර්ට්ඩෝම් (SmartDome) ස්ථාපනය කිරීම පහසු කටයුත්තක් වන අතර වෙළඳසැලේ පිරික්සුම් ස්ථාන, කවුන්ටර, පිවිසුම් සහ කාර්යබහුල කොටස් සඳහා එය භාවිත කළ හැක. මෙම උපකරණය ආරක්ෂක කැමරාවකට සමාන වන අතර එය ගනුදෙනුකරුවන් දෙසට යොමුව ඇත. එමෙන්ම මෙම SmartDome හරහා “ඔබේ ආරක්ෂාව සඳහා කරුණාකර අවම වශයෙන් අඩි හයකවත් සමාජ දුරක් පවත්වා ගන්න” ආදී වශයෙන් වන පණිවිඩයක්ද සපයයි.


තම රටේ ව්‍යාපාරික ප්‍රජාව මෙම සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් බොහෝ සාකච්ඡා වලට සහභාගී වී ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කළ බවත් එහිදී සාකච්ඡා කළ ගැටලු වලට විසඳුමක් ලෙස මෙම නව තාක්ෂණය සොයාගැනීමට හැකි වූ බවත් ඉන්ඩිමේහි ප්‍රධාන විධායක නිලධාරී ජෝ බුඩානෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. ඇමෙරිකාවේ පමණක් නොව තවත් බොහෝ රටවල් මෙසේ තම වෙළෙඳසල් තුළ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදු කරමින් පවතී. අනාගතයේදීද මෙම තාක්ෂණයට සමාන තවත් කාර්යක්ශම දියුණු තාක්ෂණික උපකරණ නිර්මාණය වීමට වැඩි අවස්ථාවක් ඇති බව විශේෂඥයන් විසින් පෙන්වා දී තිබේ.

- රිෂ්මි ඉෂාරා -
[May04, 2020 - Gossiplankanews.com]