සුගිය දිනවල සමාජ මාධ්‍යය පුරා දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී වීඩියෝ රැසක් හුවමාරු විය. වැඩිපුර ලයික් ගැනීමට කැමති ඇතැම් ෆෙස් බුක් පිටු ප්‍රචණ්ඩ පෝස්ටු වලට දක්වන උනන්දුව නිසාම මේවා වැඩි ප්‍රමුඛතාවයකින් හුවමාරු විය.“නිකවැරටියේ සහන්,” “නදීර මැක්ස්” සහ “සෙල්ලක්කාර මල්ලියා” වැනි නම්වලින් පෙනී සිටි කුඩා දරුවන් මේ ඔස්සේ ඉස්මතු විය.
අවුරුදු 6ක් තරම් කුඩා දරුවන් පවා අමුතු නම්වලින්
පෙනී සිටිමින් එකිනෙකාට තර්ජනය කරන අවස්ථාද වාර්තා විය. ඇතැම් වීඩියෝවල පිහි පවා දැකගත හැකි විය.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කර තිබෙන ළමා ආරක්ෂණ අධිකාරියේ (NCPA) මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ඒ ගැන පුවත්පතකට අදහස් දක්වා තිබේ. ඔහු මෙසේ කියයි.
“2019 දෙසැම්බර් මාසයේදී NCPA සභාපති ධූරයට පත් වන විට මෙය අභියෝගයක් වන බව මා දැන සිටියා. දරුවන්ට එරෙහි අපරාධ සයිබර් අවකාශය තුළටද ඇතුල් වී තිබෙනවා”
 සයිබර් අපරාධ සිදු වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන් වන නෛතික ලියවිලි NCPA සතු බව ඔහු පැවසීය. සයිබර් අපරාධ පරීක්ෂණ අංශයට විශේෂඥයන්ව බඳවාගැනීමට මෙම අවුරුද්ද මුල සිට පියවර ගෙන තිබෙන බව පැවසේ. NCPA එකට පැමිණිලි ලැබෙන ප්‍රධාන ක්‍රම තුනක් තිබේ. 1929 හදිසි ඇමතුම් අංකය, සයිබර් අපරාධ පරීක්ෂණ අංශයේ පරීක්ෂණ හරහා, ලියුම් මගින්, දුරකථන ඇමතුම් මගින් සහ ෆැක්ස් මගින් පැමිණිලි ලැබෙයි.
සමාජ මාධ්‍ය පුරා සැරිසරන “තර්ජනාත්මක අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප” සතියකට පෙර මෙම අධිකාරියට හසු වී තිබේ.
“අප සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමවේදයට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කිරීම ඇතුළත් වුණත් එසේ අවහිර කළ වහාම ඔවුන් වෙනත් ගිණුමක් නිර්මාණය කරන බැවින් ගිණුම් අවහිර කර මෙම හානිකර ක්‍රියා නතර කළ නොහැකියි” මහාචාර්ය මුදිත ප්‍රකාශ කළේය.
මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කරන විට අනුගමනය කරන ක්‍රමවේදය පහත පරිදිය. බලධාරීන් මුලින්ම කරන්නේ ඔරිජිනල් පෝස්ටුවේ URL එක ලබාගැනීමය. ඉන්පසු එම පෝස්ටුවට සම්බන්ධ පුද්ගලයන් සිටින ස්ථානය සොයාගැනීමට බලධාරීහූ උත්සාහ කරති. ස්ථානය සොයාගත් පසු ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරීන් සහ ප්‍රාදේශීය පොලීසිය මෙම කාරණය සඳහා එක්ව කටයුතු යොදයි. “ඊටපස්සේ අප එම URL එක පිළිබඳව විදුලි සංදේශ නියාමන දෙපාර්තුමේන්තුවට (TRCSL) පැමිණිලි කරනවා” මහචාර්ය මුදිත පැවසීය.
කඩිනමින් ස්ථානය සොයාගත නොහැකි වූවොත් ඒවා කොළඹ විශ්වවිද්‍යාලයේ සයිබර් අංශයේ අපරාධ විමර්ෂණ කොට්ඨාශය වෙත යොමු කරනු ලබයි. ඇතැම් අවස්ථාවලදී ෆේස්බුක් සමාගමටද ඒවා යොමු කරනු ලබයි.
නමුත් ඇතැම් අවස්ථාවලදී පදිංචි ස්ථානය සොයාගත නොහැකි වූ විට එම පුද්ගලයන්ගේ ගිණුම් පිළිබඳ තොරතුරු TRCSL එකට යවනු ලබන අතර එම ගිණුම් සදහටම අවහිර කිරීමට TRCSL එකට හැකිය.
පසුගිය සතියේ මුදාහැරුණු වීඩියෝ පිළිබඳ ඉහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදි. මේ සඳහා දරුවන්ව යොදාගත් දෙමාපියන්ව සහ වැඩිහිටියන්ව අත්අඩංගුවට ගන්නා ලදි. එම දරුවන්වද පොලිස් අත්අඩංගුවට ලබාගන්නා ලදි.

ඔවුන් මැදිරිගිරිය, කඩුගන්නාව, කුලියාපිටිය සහ මාදම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 286 A වගන්තිය යටතේ ඔවුන්ට දඬුවම් පමුණුවන ලදි.
එම වීඩියෝ අතරින් වැඩි ප්‍රමාණයක් දරුවන් විසින්ම පටිගත කරන බව පෙනෙන්න තිබූ අතර කිහිපයක දරුවන්ව මේ සඳහා පොලඹවමින් කැමර‍ාවට හසු නොවී ඔවුන්ගේ දෙමාපියන් සිටින බව හෙළි විය. සමහර වීඩියෝ දරුවන් පටිගත කර තිබෙන්‍නේ දෙමාපියන්ගේ අනුදැනුමක් නැතිව වුවද නොසැලකිලිමත්කම යන ‍චෝදනාව ඔවුන්ට එල්ල වී තිබේ. නියමිත දඬුවමට අවුරුදු 2-10 සිරගත කිරීම සහ දඩයක් ඇතුළත්ය.


දරුවා අවුරුදු 12ක් හෝ ඊට වැඩි සහ අවුරුදු 16ට අඩු වයසක පසු වෙනවා නම් ඔවුන්ව සහතික කරන ලද පාසැල්වලට යවනු ලබන අතර ඔවුන් අවුරුදු 16ට වැඩි නම් ඔවුන්ව බාල අපරාධකරුවන්ව පුනරුත්ථාපනය කරන පාසැල්වලට යවනු ලබයි. “නමුත් මේ අවස්ථාවේදී අප එම ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඒ වෙනුවට එම දරුවන්ව දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ තැබුවා” මහාචාර්යා මුදිත පැවසුවේය. නැවතත් එම දරුවන් මෙවැනි ක්‍රියාවක් සිදු කළොත් ඒ සඳහා දායක වුණු දෙමාපියන්ට එරෙහිව නීතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බවත් එම දෙමාපියන්ට අනතුරු අඟවා තිබේ.

එම දරුවන් අතරින් “නිකවැරටියේ සහන්” ලෙස පෙනී සිටි දරුවාව බලධාරීන් විසින් හඳුනාගත් පසු ඔහු ෆේස්බුක් මාධ්‍ය ජාලයේ පළ කරන ලද වීඩියෝ වෙනුවෙන් සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ. එම වීඩියෝව තමාගේම සතුට සඳහා පමණක් පටිගත කරන ලද්දක් බවද එය තමාගේ ‍සිතුවිල්ලක් අනුව කරන ලද දෙයක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ. නමුත් පසුව මුදාහැරුණු Facebook/messenger chat එකක තිර පටිගත කිරීමක් මගින් පෙනෙන්නට තිබුණේ එය එසේ නොවන බවය. නිර්නාමික ගිණුමකින් පොදුවේ මුදාහැරුණු එම තිර පටිගත කිරීමේ ඇතුළත් වූයේ සැහැසියාව ඇතුළත් වීඩියෝවක් මුදාහරින ලෙස වැඩිහිටියන් පිරිසක් මෙම දරුවාට උපදෙස් ලබා දෙන අයුරු සහ එහි ඇතුළත් කළ යුතු දේවල් පිළිබඳව ඔහු තුළ පෙලඹීමක් ඇති කරන අයුරුය. අසභ්‍ය භාෂාව භාවිත කරමින් මෙම දරුවාගේ “පාතාල” ප්‍රතිවාදීන්ට එරෙහිව තර්ජනය කර මෙම වීඩියෝව නිපදවා බෙදාහැරීමට එම වැඩිහිටියන් කටයුතු කර තිබෙන අයුරු එහි දැක්විණි.

මෙම වැඩිහිටි පුද්ගලයන්ව අඟහරුවාදා රත්නපුරේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ට චෝදනා එල්ල වේ.
“ඔබ ඔබේ දරුවාට ඉලෙක්ට්‍රෝනික උපාංගයක් ලබා දී එයට අන්තර්ජාල පහසුකම්ද ලබා දී තිබෙනවා නම් තවදුරටත් මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා, ඔවුන් එම උපකරණ භාවිත කරන අයුරු අධීක්ෂණය කරන්න”  මහාචාර්ය මුදිත ශ්‍රී ලංකාව තුළ වෙසෙන සියලු දෙමාපියන්ට අවවාද කරයි.

(Sunday Times ඇසුරිනි)
එස්. දහනායක
[May15, 2020 - Gossiplankanews.com]