බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් ඊයේ (6 වැනිදා) නිකුත් විය.
එම නිර්දේශවලට අනුව රූපලාවණ්‍යාගාර හා බාබර්සාප්පුවලදී මුහුණ හා එම ආසන්න ස්ථාන ස්පර්ශ වන පරිදි
  සිදු කරන සියලු සේවාවන් තහනම් කර තිබේ.
ඒ අනුව ෆේෂල් දැමීම, ඇහිබැමි සැකසීම, මුහුණේ පැල්ලම් ඉවත් කිරීම, ආලේපන තැවරීම තහනම්ය. ඊට අමතරව රැවුල කැපීම, උඩු රැවුල කැපීම, රැවුල ඩයිකිරීම සිදු නොකළ යුතුය.
දැඩි ආරක්ෂණ රීති අනුගමනය කරමින් සිදු කළ හැකි ක්‍රියාකාරකම් ලෙස දක්වා ඇත්තේ කොණ්ඩා කැපීම, කොණ්ඩ කොට කිරීම, කොණ්ඩ ඩයි කිරීම, අත් සහ පාදවල නියපොතු සාත්තුව, අත් සහ පාදවල රෝම ඉවත් කිරීම යනාදී සේවාවන්ය.
අදාළ නිර්දේශ සටහන පහත පරිදිය.

 බාබර් සාප්පුවල කොණ්ඩ කැපීම පමණක් සිදුකළ යුතුය. රැවුල සහ උඩු රැවුල කැපීම සම්පූර්ණයෙන් තහනම්ය. සේවය ලබා දෙන්නා සහ සේවාලාභියා ඇසුරු කරන කාලය ඉතාම අඩුවිය යුතුයි.
 
එක් සේවාලාභියකුට සේවය ලබාදීමේදී භාවිත කරන රෙදිපිළි අනෙක් සේවාලාභියාට භාවිත නොකළ යුතුයි.
 
රූපලාවණ්‍යාගාරවලදී සේවය සැපයීමේදී තොල් ස්පර්ශ නොකළ යුතුයි.සේවා සපයන්නා එන් 95 වර්ගයේ මුඛ ආවරණයක් පැලඳ සිටිය යුතුයි.
 
සේවා ස්ථානවල සඟරා, පුවත්පත්, දුරස්ථපාලක තැබීම තහනම්ය.සේවා ස්ථානවල දොර විවෘත කිරීම සඳහා වෙනම සේවකයකු යොදා ගත යුතු වෙයි.
 
සෑම සේවා ස්ථානයකම ආරම්භ කිරීමට පෙර සහ පසුව විෂ බීජහරණය කළ යුතුය.
 
අපද්‍රව්‍ය බෑගයකට එකතු කර විනාශ කළ යුතුයි.
 
සේවා ස්ථානයට ඇතුළුවන දොරටුව අසල අත්සෝදා ගැනීමට ජල කරාම ස්ථාපිත කළ යුතුයි.
 
සේවා ස්ථානයේ සියලු සේවකයන්ගේ තොරතුරු අයිතිකරු සතු විය යුතුය. ​රෝගාබාධ සහිත සේවකයන් සේවයට යොදා නොගත යුතුය.
 
සේවකයන්ගේ ශරීර උෂ්ණත්වයද දෛනිකව මැන බැලිය යුතුය.
 
බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට පෙර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු අතර එය පරීක්ෂා කිරීමෙන් පසු නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙර සූදානම සතුටුදායක නම් විවෘත කිරීම සඳහා සහතිකයක් නිකුත් කරනු ලබයි.
මෙම උපදෙස් උල්ලංඝනය කරන සේවා ස්ථානවලට එරෙහිව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කරන බවද එම නිර්දේශවල සඳහන් වෙයි.