නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා හඟුරන්කෙත, දිග්ගල්පොත්ත , ඇකිරිය ගම්මානයෙන් හමුවීමත් සමග එම පුද්ගලයා සමග සමීප සබඳතා පැවැත්වු පිරිසගේ පී. සී. ආර්. පරීක්ෂණ අද (03) දිනයේ සිදු කිරීමට පියවර ගෙන ඇතැයි රිකිල්ලගස්කඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද පතිරණ මහතා පැවසීය.



මෙරට කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා හමුවී දින 51 කට පසුව මෙසේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදිත මෙම පුද්ගලයා හමුව ඇත.

ඔහු සමීප සම්බන්ධතා පැවැත්වු පිරිසගේ තොරතුරු සොයාගෙන ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කොට සිටින බවද ඒ මහතා පැවැසීය.

මොහු සමග පුද්ගලයන් 08 කු පමණ පිරිසක් සමීපව ගැටී ඇති බවත්, ඒ අනුව එම පිරිස පී. සී. ආර්. පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා පැවැසීය.

එම පුද්ගලයාගේ බිරිඳ හා දරුවන් දෙදෙනා පසුගිය 28 දින දියතලාව හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවත්, අනෙකුත් පිරිස් තවදුරටත් නිරෝධායනය කටයුතුවල නිරත කොට සිටින බවද ඒ මහතා පැවසීය.

සමීපව ඇසුරු කරන ලද පුද්ගලයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව එහි ප්‍රතිඵල අනුව ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගය ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.
[May03, 2020- Gossiplankanews.com]