ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයාගේ ළාබාල හැසිරීම් හේතුවෙන් රට මෙපමණ අර්බුදයකට පත්ව තිබෙන බව එරට හිටපු ජනාධිපතිවරයෙකු වන බරැක් ඔබාමා පවසයි.
පසුගිය සෙනසුරාදා දිනයේදී රූපවාහිනිය හරහා එරට උසස් පාසල් ජ්‍යෙෂ්ඨයන් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ කරුණු සදහන් කර ඇත.
                                 
'Show Me your Walk, HBCU Edition'නමැති මෙම වැඩසටහන රූපවාහිනි නාලිකා හරහා මෙන්ම යුටියුබ්, ෆේස්බුක් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය හරහාද සජීවීව විකාශය කෙරිණි. පැය දෙකක් පුරා පැවැති මෙම හමුවේදී හිටපු ජනපතිවරයා එරට කළු ජාතික පාසල් සහ විශ්වවිද්‍යාල හරහා උපාධි ලබා ගත් කළු ජාතික සිසුන් ඇමතීම සිදු කර තිබේ.

 විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට ඔබාමා මෙහිදී වඩාත් සංවේදී වී ඇති අතර, ඇමතීම අතරතුර ඔහුගේ නෙතට කඳුළු ගලා ඒමක්ද සිදුවුණු බව පැවසෙයි. විශේෂයෙන්ම තමන් මේ මොහොතේදී කරන්නේ කුමක්දැයි යන්න  පිළිබඳව තමන්ම නොදන්නා බවට ජනපති ට්‍රම්ප් පසුගියදා සිදු කළ ප්‍රකාශය ගැන සඳහන් කරමින් ඔබාමා මෙහිදී අදහස් පළ කර තිබේ.


"ඔන්න ඔහොම තමයි කුඩා දරුවන් දේවල් ගැන කල්පනා කරන්නේ. ඒ නිසා තමයි මේ සියල්ලම අද වැරදිලා තියෙන්නේ." ඔබාමා මෙහිදී ජනපති ට්‍රම්ප්ගෙන් නම සඳහන් නොකරමින් එම දෝෂාරෝපණ එල්ල කිරීමට වගබලා ගෙන තිබුණි. එහිදී ඔහුගේ ප්‍රධානම චෝදනාව එල්ලවී ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහි එක්සත් ජනපද නායකත්වයට එරෙහිවයි.

පසුගිය සතියේදී ද ඔබාමා මෙවැනිම ආකාරයෙන් අන්තර්ජාලය හරහා ඇමතීමක් සිදු කරමින් සිය පාලන සමයේදී ධවල මන්දිරයේ සේවය කළ 3,000කට අධික පිරිසකට වර්තමානයේ රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය පිළිබඳව පැහැදිලි කළේය.එහිදී ඔහු වත්මන් ජනාධිපතිවරයා සහ ධවල මන්දිරය මෙම වසංගතය හසුරුවන ආකාරය පිළිබඳව දැඩි ලෙස විවේචනය කර තිබුණි.

 එම අවස්ථාවේදී ඔබාමා ලබන නොවැම්බර් මාසයේදී එරට පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණය පිළිබඳවද සඳහන් කර තිබූ අතර, වත්මන් ජනපතිවරයා ධවල මන්දිරයෙන් ඉවත් කර ඩිමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන් එම තනතුර සඳහා පත් කරන ලෙසද සිය හිටපු කාර්යමණ්ඩලයෙන් ඔහු ඉල්ලා තිබුණි.
ඒ අනුව මෙවර සිදුකළ ඇමතීමේ දීද ඔබාමා මෙම උපාධිධාරින් වෙත වක්‍රාකාරයෙන් එම ඉල්ලීම ඉදිරිපත් කළ අතර, "ලෝකය වඩාත් හොඳ තැනක් වෙනවා නම්, ඒ තැන ඔබ වෙනුවෙන්මයි." යනුවෙන් පවසා ඇත.
වරෙක සිය උපජනපතිවරයාද වූ ජෝ බයිඩන් වෙනුවෙන් මෙලෙස තමන් ඉදින්ව සිටින්නේ එම යහපත් රජය බිහි කිරීමේ අරමුණින් බවත්, ඒ සඳහා තමන් දැන් වැඩි කාලයක් වැය කරමින් සිටින බවත් ඔබාමා වැඩිදුරටත් පවසා ඇත.