කිලෝ 10 හාල් ගෝනිවල සඟවා බෙදා හැරිමට සුදානම් කර තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පසුගිය රුපියල්ට කෝටි 225කට අධික වෙළඳ වටිනාකමකින් යුත් මත්කුඩු තොගයක් අත්අඩංගුවට
ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට කොස්ගොඩ තාරක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා විසින් රාගම ප්‍රදේශයේ සුවිසල් නිවාස දෙකක් කුලී පදනම මත ලබා දී ඇති බවට හෙළි වූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ආරංචි මාර්ග කියයි.

මෙම මත්කුඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු වන කසුන් ලක්ෂිත නොහොත් හබරකඩ කසුන් නැමැත්තා කොස්ගොඩ තාරක සමග එක්ව යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවට ඔහුගේ මත්කුඩු හා කේරළ ගංජා ජාවාරමට හවුල් වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

 මෙම නිවස මීට වසර දෙකකට පමණ පෙර කොස්ගොඩ තාරක නමැත්තා විසින් කුලියට ගෙන මන්ද්‍රව්‍ය ජාවාරම සඳහා ඔහුට ලබා දී ඇති බවත් ඔහු මීට පෙර අවස්ථා රැසකදී කොස්ගොඩ තාරක නමැත්තාට අයත් මත්කුඩු කිලෝ 1, 2, 3, 5 වශයෙන් මහාපරිමාණයෙන් ජාවාරම් කර ඇති බවට ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාප්පු  ලිපිකරුවකු වූ ඉන්ද්‍රකුමාර රාමනායක නමැත්තා බීඩි කොළ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව නාශක කාර්යාංශය විසින් 2019 වසරේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවත් බන්ධනාගාරයේ දී ඔහු කොස්ගොඩ තාරක නමැත්තා සමග හිතවත් වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.

බීඩි කොළ ජාවාරම සම්බන්ධ සිද්ධියෙන් ඇප ලබා ඇති මෙම සැකකරු පසුව කොස්ගොඩා තාරක නමැත්තා සමග මන්ද්‍රව්‍ය ජාවාරමකට එක්ව ඇති බවත් එම ජාවාරම් සඳහා කොස්ගොඩ තාරක ඔහුට නිවෙසක් කුලියට ගෙන දී ඇති බවත් මත්ද්‍රව්‍ය තොගය පොලිස් අත්අඩංගුවට පත්වූයේ එහිදී බවත් එම පොලිස් නිලධාරියා කීය.
 මොවුන් දෙදෙනා එක් වී කොස්ගොඩ තාරක නමැත්තාට අයත් මත්කුඩු කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වෙත මහාපරිමාණයෙන් බෙදා හැර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිවුදෙනාගෙන් මෙම මස 21 දින දක්වා ප්‍රශ්න කෙරෙයි.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය, නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
 (ඉන්දිකා රාමනායක)