මාතලේ රෝහල් පොලිසිය මගින් අලවතුගොඩ පොලිසියට ලැබුණු පණිවිඩයක් අනුව පොලිසිය පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. මෙම 13 හැවිරිදි පාසල් සිසුවිය පසුගිය 15 වැනිදා මාතලේ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත්තේ තදබල උදරයේ අමාරුවක් හේතුවෙනි.



වැඩි දුර පරික්ෂා කළ වෛද්‍යවරුන් ඇය දරුවකු ප්‍රසූත කිරීමට සුදානම්ව සිටින බව හෙළිවීමෙන් පසුව ඒ අනුව අවශ්‍ය කටයුතු සිදු කර තිබේ.  මෙම සිසුවිය බිහි කර ඇති නොමේරූ ගැහැනු දරුවා මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරික්ෂණය මාතලේ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එච්.ඩී.එස්. ප්‍රසන්න අප්පුහාමි මහතා විසින් පවත්වනු ලැබීය.

මෙම මෙම සිසුවිය බිලිඳියක ප්‍රසූත කිරිම සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පැවැත්වූ අතර  සිසුවියගේ ප්‍රකාශය අනුව ඇයගේ සොහොයුරියකගේ සැමියා පසුගිය වසරේදී තමන් අතවරයට ලක් කළ බව ප්‍රකාශ කර තිබේ.

 ඒ අනුව එම සොහොයුරියගේ සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර ඔහු තිදරු පියකු බවද පොලිස් පරික්ෂණවලින් හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරික්ෂණ පවත්වා තහවුරු කර ගැනීමට අවශ්‍ය පියවරද පොලිසිය මගින් ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (19) වැනිදා මහනුවර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)