දකුණු ඉන්දීය නිළියක වන මලවිකා මොහානන් වනජීවී ඡායාරූපකරණය කෙරෙහි ඇයට ඇති ඇල්ම පිළිබඳව අදහස් දක්වා ඇත. මලයාලම් සහ කන්නඩා චිත්‍රපට මාලාවකට පසු ඇය මජිඩ් මජිඩිගේ චිත්‍රපටය වන "බියොන්ඩ් ද ක්ලවුඩ්ස්"  (Beyond the Clouds) (2017) චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් පැසසුමට ලක්විය.
එමෙන්ම පසුගිය වසරේදී ඇය දෙමළ සිනමාවට පිවිසියේ සුපිරි තරුවක් වන රජිනිකාන්ත්ගේ "පෙට්ටා" (Petta)සමඟිනි. මේ වසරේදීත්, සුපිරි තරුවක් වන විජේ සමඟ නිර්මාණයක් හරහා ඉදිරියට පැමිණිමට ඇය බලාපොරොත්තුවෙන් සිටියි.

මලවිකා මොහානන් කැමරාකරණය කෙරෙහි දැඩි ආශාවක් දක්වයි. වනජීවී ඡායාරූපකරණය කෙරෙහි ඇය ඉතා උනන්දුවෙන් යුතුව කටයුතු කරන බව ඇය ලබාගෙන ඇති ඡායාරූප තුළින් හෙළිවේ. සුප්‍රසිද්ධ සිනමා ශිල්පී කේ. යූ. මොහානන්ගේ දියණිය වන මලවිකා හැදී වැඩී ඇත්තේ කැමරා හිතකාමී පරිසරයකය. කෙසේවෙතත් පසුකාලීනව ඇය වනජීවී ඡායාරූපකරණය ඇගේ පූර්ණ විනෝදාංශයක් බවට පත් කරගෙන තිබේ. එතුළින් ඇයට මානසික සුවතාවයක් ඇතිවන බවද අගුලු දැමීමේ කාල සීමාව තුලදී ඡායාරූපකරණය කෙරෙහි තිබූ ඇල්ම තව තවත් වැඩි වූ බවද ඇය ප්‍රකාශ කොට තිබේ.

ඇය තමිල්නාඩුවේ, කේරළයේ සහ කර්ණාටක ප්‍රාන්තයේ වනාන්තර රාශියක් ගවේෂණය කිරීමට පටන් ගත් බවත් මෑතකදී අප්‍රිකාවට යාමටද අවස්ථාවක් හිමි වූ බවත් පවසා ඇත. එමෙන්ම අභයභූමි සහ වනාන්තරවල වනජීවී සම්පත් කෙරෙහි ඇයට දැඩි ඇල්මක් ඇති වූ බවත් ඒ හරහා වනජීවී ඡායාරූපකරණයට යොමු වූ බවත් ඇය පවසයි. මෙම අත්දැකීම නිළියක ලෙස යෙදෙන වෘත්තීය ජීවිතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවද ඇය පවසන්නේ ඒ තුළින් ඇයට විශාල මානසික සහනයක්ද අත්වන බවද පසක් කරමිනි.

ඡායාරූපකරණය පිළිබඳව අදහස් දක්වූ ඇය තමා යෞවන කාලයේ සිටම ඡායාරූපකරණයේ රසිකයෙක් බවත් තම පියාගේ ඩිජිටල් කැමරා කාච ආදී උපකරණ පරීක්ෂා කිරීම ඇගේ විනෝදාංශයක් වී තිබූ බවත් පවසා ඇත.  විද්‍යාලයේදී ව්‍යාපෘති සඳහා පින්තූර ගැනීමට පටන් ගැනීමෙන් පසු ඡායාරූපකරණය කෙරෙහි මෙසේ දැඩි ඇල්මක් ඇය තුළ හටගෙන තිබේ . එමෙන්ම ඇගේ පියා තම වෘත්තීය ජීවිතය කෙරෙහි කිසිඳු බලපෑමක් නොකළ බව පවසන ඇය තමන්ගේ ආශාව පරිදි මේ සඳහා යොමු වූ බවද පවසයි.

ඡායාරූපකරණය සම්බන්ධයෙන් ඉතා රසවත් අත්දැකීම් රාශියක් තමා සතු බව පවසන මලවිකා ටැන්සානියාවේ සෙරෙන්ගිටි ජාතික උද්‍යානය සහ කෙන්යාවේ මාසායි මාරා ජාතික රක්ෂිතය වෙත ගිය ගමන සමඟින් ලැබුණු අත්දැකීම් ඒ අතරින් වඩාත් සුවිශේෂී වන බව පවසයි. ක්‍රියාකාරී විනෝදාංශයක් ලෙස ඡායාරූපකරණයට යොමු වීම තුළින් වනජීවී ලෝලීන් හමුවීමට අවස්ථාව හිමි වීම ඇය ලද භාග්‍යයක් බව පෙන්වාදෙන ඇය තම විනෝදාංශය හරහා රටේ හොඳම වනජීවී ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකු සමඟ මිතුරු වීමට අවස්ථාව හිමි වූ බවද පවසයි. ඒ  හරහා ඡායාරූපකරණය ගැන තවත් බොහෝ දේ ඉගෙන ගැනීමටද ඇයට අවස්ථාව හිමිව ඇත.

මීට වසර 10 කට පමණ පෙර පින්තූර ගැනීමට ඩීඑස්එල්ආර් කැමරාවක් හෝ උසස් තත්ත්වයේ කැමරාවක් අවශ්‍ය වූ නමුත් දැන් එසේ මිල අධික උපකරණ අවශ්‍ය නොවන බව පෙන්වාදෙන මලවිකා දුරකථන කැමරා හරහාද හොඳ ඡායාරූප ලබා ගත හැකි බව පවසයි. ඇයද තවමත් පියාගේ කැමරා කාචයන් භාවිත කරමින් මෙම විනෝදාංයේ යෙදෙන බව ඇය පවසා සිටින්නේ නවකයෙකුට වුවද ආශාව ඇත්නම් ඉතා පහසුවෙන් ඡායාරූපකරනය කෙරෙහි යොමුවිය හැකි බවද පෙන්වා දෙමිනි.
(රිෂ්මි ඉෂාරා)