ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබු පෙරේදා (25 වැනි)  සවස මාතර වෙරළ පාරට හදිසියේ පැමිණි පාකිස්තානු  ජාතික පිරිසක් පරික්ෂා කිරීමට යාමේ දී ඔවුහු ඊට විරෝධය පළ කර පොලිසිය සමග උණුසුම් තත්වයක් ඇති කර ගත්හ.
 රතු පැහැති අංක තහඩු සහිතව මෝටර් රථයකින් පැමිණි ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය උත්සාහ කරද්දී ඊට එහි සිටි පාකිස්තානු  ජාතිකයන් තිදෙනා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි අතර මේ නිසා අතිරේක පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට කැඳවීමට සිදුවිය.

තමන් පාකිස්තානු තානාපති කාර්යාලයේ පිරිසක් බවත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත පැමිණි බවත් ද ඔවුහු ආවේගශිලිව ප්‍රකාශ කළහ.
 දැඩි ලෙස කලබලකාරීව හැසිරුණු ඔවුන් සිය මෝටර්  රථය පිටුපසට ගැනීමේ දී රථ වාහන අංශයේ පොලිස් නිලධාරියකුට අයත් යතුරු පැදියක ද හැපී බිම පෙරළුණත් පොලිස් යතුරුපැදියට හානි සිදු නොවූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉන් අනතුරුව පාකිස්තානු ජාතික පිරිස පොලිසිය ඉදිරියේ  සිගරට් දල්වා පානය කර තිබුණ අතර ඒ සමගම මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග හා රථ වාහන ඒකකයේ
ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් යන මහත්වරු පැමිණි පාකිස්තානු ජාතිකයන් සමග ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කළහ.

පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් අදාල පාකිස්තානු ජාතිකයන් තිදෙනාගේ අනන්‍යතාව හා වලංගු රියදුරු හැදුනුම්පත ඉදිරිපත් කර ඔවුන් එම ස්ථානයෙන් කැඳවා ගෙන ගියේය.
මාතර මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව පරික්ෂණ මෙහෙයවීය.