තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපූ බවට සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.


මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතින් සාමාජිකත්වය ලබාගත් බවත්, එසේ තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නොමැති කෙනෙකු නෙරපීම හාස්‍යයට කරුණක් බවව හිටපු අමාත්‍යවරයා පවසා සිටියේය. මාස තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු සියල්ලම පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන් හා ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහෙතාගේ මගපෙන්වීම යටතේ සිදුකරන බවද සදහන් කළේය.

එමෙන්ම පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසුව ඉදිරි මැතිවරණය සදහා කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත්වන බවද ඔහු වැඩිදුර පවසා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් නෙරපා ඇති බව පක්‍ෂ ආරංචි මාර්ග වාර්තා කර තිබුනේ  පසුගිය දාය. ඔහුට එරෙහිව පක්‍ෂ විනය කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් අනුව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්‍ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගෙන තිබූ බව වාර්තා කර තිබුණි.
පක්‍ෂය විසින් ගනු ලැබූ මෙම තීන්දුව සමරසිංහ මහතාට ලිඛිතව දැනුම්දී තිබුණි.